ලක්‍ෂානිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් – ආසියානු ශූරතා මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය

144

චීනයේ පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි කරවන ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම වෙනුවෙන් දියගම පැවැති තෝරා ගැනීමේ තරගාවලියේ පළමුවැනි දිනයේ මීගමුව නිව්ස්ටඩ් බාලිකා විදුහලේ විදුෂා ලක්‍ෂානි කාන්තා තුන්පිම්ම ඉසව්වට මීටර් 13.22ක දුරක් සටහන් කොට නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන්නට සමත් වූවාය.

ඇය ප්‍රදර්ශනය කළ මෙම දක්ෂතාව හේතුවෙන් 2009 වසරේ එන්.සී.ඩී. ප්‍රියදර්ශනි මීටර් 13.15ක් ලෙස පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වර්තාව මැකී ගියාය.

මේ අතර එදින කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගි වූ සුපිරි ක්‍රීඩිකා නදීකා ලක්මාලි ඇගේ ඉසව්ව මීටර් 56.69ක දුරක් සටහන් කරමින් ජයග්‍රහණය කරනු ලැබුවේ ප්‍රසාද ලකුණු 997ක්ද එකතු කර ගනිමිනි.

පිරිමි මීටර් 200 ධාවන ඉසව්වේදී වැඩි දෙනකු බලාපොරොත්තු තබා සිටි ඒ.ආර්.එම්. රාජස්ඛාන් දෙවැනි තැනට පත් කළ සුරන්ජය ද සිල්වා තත්පර 21.22කදී ඉසව්ව නිම කොට ප්‍රසාද ලකුණු 1035ක්ද ලැබීය.

කෙසේ වුවත් පළමුවැනි දිනය වූ සෙනසුරාදා ඇදහැලුණු වර්ෂාව ඉසව් කිහිපයකදීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම තමන්ගේ උපරිම දක්ෂතා දැක්වීමට බාධාවක්ව පැවැතිණි.

මේ අතර දෙවැනි දිනය වූ පෙරේදා (09) ශ්‍රී ලංකාවේ ප්‍රබල මැදි දුර ධාවන ශූරයෙකු වූ චමින්ද විජේකෝන් දිගු නිහැ¾ඩියාව බිඳිමින් පිරිමි මීටර් 5000 ඉසව්වට සහභාගිවී වි.14.ත.47.22 කදී අවසන් කොට ජයග්‍රහණය කිරීම කැපී පෙණුනි.

ශ්‍රී ලංකාවේ උස පැනීමේ ශූරයා වන මංජුල කුමාර විජේසේකර මීටර් 2.21 ක උසක් තරණය කොට ජය ගනිද්දී මීටර් 5000 කාන්තා ඉසව්වේ දෙවැනි ස්ථානය දිනූ එස්. ඒ. ළමාහේවගේ මීටර් 10000 ඉසව්ව වි.35.ත.51.06කදී අවසන් කොට ජය ලැබුවාය.

 

තරග ප්‍රතිඵල

පිරිමි

මීටර් 10,000 – එල්.සී. නවසිංහ වි:31 ත:37.13, රිටි පැනීම

ඒ.කේ. සේනාරත්න මී: 4.30, යගුළිය විසිකිරීම – ඒ.ජේ.ඩී. පෙරේරා මී: 14.65, තුන්පිම්ම – ඩී.එස්.එස්. ජයසිංහ මී:16.02, මීටර් 200 – සුරන්ජය ද සිල්වා ත:21.22, කවපෙත්ත – යූ.පී. ජයවර්ධන මී: 40.53, මීටර් 3,000 බාධක දිවීම – කේ.ඒ.එස්. පුෂ්පකුමාර වි:9 ත:10.35, මීටර් 5000 – චමින්ද විජේකෝන් වි.14 ත47.22, උස පැනීම – මංජුල කුමාර මීටර් 2.21, මිටිය විසි කිරීම – ඒ.ඩී. එලෙන්සන් මීටර් 44.55, මීටර් 800 – ඉඳුනිල් හේරත් වි.1 ත.51.83, මීටර් 400 කඩුලු – හසිත් නිර්මාල් තත්.51.80, දුර පැනීම – ඒ.පී. ජයසිරි මීටර් 7.46, මීටර් 110 කඩුලු – පී.එච්. නිමල් ත.14.40, හෙල්ල විසි කිරීම – ඩබ්ලිව්. එල්. දයාරත්න මීටර් 73.78, මීටර් 100 – හිමාෂ ඒෂාන් ත.10.49, මීටර් 1500 – කේ.එස්. සෝමවර්ධන වි.3 ත.50.38, මීටර් 400 – කාලිංග කුමාර ත.46.95

කාන්තා

මීටර් 5,000 – චතුරිකා හේමමාලි වි:16 ත:42.36, කවපෙත්ත – එම්.ඒ.පෙරේරා මී: 38.07, මීටර් 200 – එච්.ඩී.එල් ප්‍රනාන්දු ත:25.34, රිටි පැනීම – කේ.ඒ.කේ.එල්. පෙරේරා මී: 3.30, මීටර් 100 කඩුලු මතින් දිවීම – ඒ.අයි.එස්. රාජසිංහ ත:14.89, හෙල්ල විසිකිරීම – නදීකා ලක්මාලි මී: 56.69, තුන්පිම්ම – විදුෂා ලක්ෂානි මී: 13.22, මීටර් 3,000 බාධක දිවීම – එරංගා දිල්රුක්ෂි වි:10 ත:37.18, මීටර් 10000 – එස්.ඒ. ළමාහේවගේ වි.35 ත.51.06, යගුළිය විසි කිරීම – එන්.ඩී. මුතුනායක මීටර් 13.37, මීටර් 800 – එල්.ඒ. නිමාලි වි.2 ත.04.60, මීටර් 400 කඩුලු – එන්.ඩී. වික්‍රමසිංහ වි.1 ත.01.46, උස පැනීම – ඒ.ටී. විනෝදනී මීටර් 1.77, දුර පැනීම – විදූශා ලක්ෂාණි මීටර් 5.83, මිටිය විසි කිරීම – එස්.එම්. අමරසිංහ මීටර් 42.35, මීටර් 100 – රොමේෂා රත්නායක ත.11.81, මීටර් 1500 – ඊ.ආර්. දුලක්ෂි වි.4 ත.35.83, මීටර් 400 – සී.එස්. රස්නායක ත.55.03