ශ්‍රී ලංකා A ක්‍රීඩිකාවෝ 2-0කින් ඉදිරියට එයි

New Zealand A Women tour of Sri Lanka

2
Women's Cricket

ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා A කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2 වැනි තරගය ද ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (23) සමත් වෙනවා.

ඒ සමඟින් ඔවුන් තවත් තරගයක් ඉතිරි ව තිබිය දී ම තරග 3කින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙසින් ජයග්‍රහණය කරනවා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 152ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නවසීලන්ත කාන්තා A කණ්ඩායම සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 96ක් පමණයි. ඒ අනුව සත්කාරක ක්‍රීඩිකාවෝ තරගයෙන් ලකුණු 56ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

අද තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම පෙර තරගය හා එක් වූ කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් නොමැති ව සහභාගී වෙන අතර නවසීලන්ත කාන්තා A කණ්ඩායම සහභාගී වෙන්නේ වෙනස්කම් ත්‍රිත්වයක් සමඟිනුයි. ඒ අනුව පෙර තරගය හා එක් වූ Prue Catton, Darcy Prasad සහ Kayley Knight වෙනුවට Kate Anderson, Marama Downes සහ Fran Jonas එක් කර ගන්නවා.

ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම

 

සත්‍යා සංදීපනී (නායිකාව), සංජනා කාවින්දි, විශ්මි ගුණරත්න, විමෝක්ෂා බාලසූරිය, පියුමි වත්සලා, රශ්මිකා සෙව්වන්දි, ශෂිනි ගිම්හානි, දෙව්මි විහංඟා, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), සචිනි නිසංසලා සහ චමුදි ප්‍රබෝධා.

 

නවසීලන්ත කාන්තා A කණ්ඩායම

 

Jess Watkin (නායක), Kate Anderson, Bella James, Tash Wakelin, Bella Armstrong, JA Watkins, Hannah Rowe, Kate Gaging (කඩුලු රකින්නිය), Emma Black සහ Marama Downes සහ Fran Jonas.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. එම ඉනිම ආරම්භ කළ සංජනා කාවින්දි සහ විශ්මි ගුණරත්න පළමු කඩුල්ලට පන්දු 35ක දී ලකුණු 44ක් ලබා ගන්නවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ සංජනා කාවින්දි පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟිනුයි.

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව විශ්මි ගුණරත්න, විමෝක්ෂා බාලසූරිය සමඟ එකතු වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 45ක දී ලකුණු 52ක සබඳතාවක් ද සහ පියුමි වත්සලා සමඟ එක් වෙමින් 3 වැනි කඩුල්ලට පන්දු 34ක දී ලකුණු 41ක් ද ලබා ගන්නවා.

එහි දී විමෝක්ෂා බාලසූරිය පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකණු 33ක් ද සහ පියුමි වත්සලා පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ද ලබා ගත්තා.

ඉනිම අවසන් වන විට විශ්මි ගුණරත්න පන්දු 49කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 57ක් සහ දෙව්මි විහංඟා පන්දු 3කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 14ක් ලබා ගන්නවා.

ඔවුන්ට අමතර ව රශ්මිකා සෙව්වන්දි සහ ශෂිනි ගිම්හානි ලකුණු නොලබා ම තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම දැවී යනවා.

කඩුලු දවා ගැනීමේ දී Jess Watkin ලකුණු 26කට කඩුලු 2ක් ද සහ Hannah Rowe ලකුණු 39කට කඩුලු 2ක් ද දවා ගන්නා ලද අතර ඊට අමතර ව Fran Jonas කඩුල්ලක් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක ක්‍රීඩිකාවන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ අංක 9 ස්ථානයෙන් පිටියට පිවිසි Emma Black. ඇය පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගන්නවා.

ඇය Fran Jonas සමඟ එක් වෙමින් අවසන් කඩුල්ලට පන්දු 26ක දී ලකුණු 34ක සබඳතාවක් එක් කරන අතර එය එම ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාව බවට ද පත් වුණා.

නවසීලන්ත කාන්තා A කණ්ඩායම මේ තරමින් අසරණ කිරීමේ දී වැඩි වැඩ කොටසක් කළේ දෙව්මි විහංඟා. ඇය ලකුණු 19කට කඩුලු 3ක් දවා ගන්නවා. ඊට අමතර ව චමුදි ප්‍රබෝධා ලකුණු 15කට කඩුලු 2ක් සහ රශ්මිකා සෙව්වන්දි, ශෂිනි ගිම්හානි සහ සචිනි නිසංසලා කඩුල්ල බැගින් ද දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම – කඩුලු 5ක් දැවී 152 (20.0) සංජනා කාවින්දි 27, විශ්මි ගුණරත්න නොදැවී 57, විමෝක්ෂා බාලසූරිය 33, Hannah Rowe 2/39, Jess Watkin 2/26
  • නවසීලන්ත කාන්තා A කණ්ඩායම – සියලුම දෙනා දැවී 96 (19.5) Emma Black 28, චමුදි ප්‍රබෝධා 2/15, දෙව්මි විහංඟා 3/19

ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායමට ලකුණු 56ක ජයක්.

දෙරට කණ්ඩායම් අතර පැවැත්වෙන 3 වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය මේ මස 28 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ උණුසුම් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<