කටාර් ක්‍රීඩකයින් මෙල්ල කරන්නට ශ්‍රී ලංකාවට නොහැකි වෙයි

AFC 23න් පහළ පාපන්දු ශූරතාවය - සුදුසුකම් ලබා ගැනීමේ වටය

196

කටාර් හි අගනගරය වන දෝහා හි කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද (28) පැවති, AFC 23න් පහළ පාපන්දු ශූරතාවයේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ දෙවැනි තරගයෙන් ගෝල 5-0ක් ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට කටාර් ක්‍රීඩකයින් සමත් වුනා.

ඉකුත් 25 වැනිදා සිරියාව සමඟ පැවති තරගයේ දී ද ගෝල 5-0ක් ලෙස පරාජය වූ ශ්‍රී ලංකාව සිරියාව සමඟ ක්‍රීඩා කළ සංචිතයේ සිටි Yuvarasa Thanushan වෙනුවට පැතුම් විමුක්ති අද තරගයට එකතු කර තිබුණා. ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය සසංග ඩිල්හාර විසින් හොඹවන අතර ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ Homam Ahmed.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8:30ට ආරම්භ වූ අතර ලකුණු පුවරුව දඬුවම් පහරකින් සක්‍රීය කරන්නට කටාර් ක්‍රීඩකයින් සමත් වුනා. ඒ 28 වැනි මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහරක් සෘජුවම ගෝලය තුලට එල්ල කරන්නට Hashim Ali සමත් වීමත් සමඟයි.ඉන්පසුව සිය දෙවැනි ගෝලය වාර්තා කරන්නට කටාර් ක්‍රීඩකයින් සමත් වන්නේ 39 වැනි මිනිත්තුවේ දීයි. Hashim විසින් දඬුවම් රාමුව අසල සිට එල්ල කර පහරකින් පන්දුව Ahmed Alganehiගේ ඇඟේ වැදී Yusuf Abdurisag වෙත යොමු වුනා.

ඔහු සාර්ථකව පන්දුවට පා පහරක් එල්ල කළ අතර ගෝල රකින්නා වන නුවන් ගිම්හානගේ දෑත්වලට ඉහළින් පන්දුව ගෝලය තුලට යොමු වුනේ ශ්‍රී ලංකාව දෙසට වැඩි පීඩනයක් එල්ල කරමින්.

ඉන්පසුව පළමු අර්ධය නිමා වන තෙක් කිසිදු ගෝලයක් වාර්තා කරන්නට දෙපිලේම ක්‍රීඩකයින් සමත් වුනේ නැහැ.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව – කටාර් රාජ්‍යය

දෙවැනි අර්ධයේ 54 වැනි මිනිත්තුවේ දී කටාර් ක්‍රීඩකයින් විසින් තෙවැනි ගෝලයත් සිය ලකුණු පුවරුවට එකතු කරගන්නට සමත් වුනා. Alganehi විසින් එල්ල කළ දිගු පහරකින් ලබා ගත් පන්දුව සාර්ථකව හිසෙන් ගෝලය තුලට යොමු කරන්නට Naif Alhadrami සමත් වුනා.

ඉන් මිනිත්තු කිහිපයක් ගත වන විට නැවතත් ක්‍රියාත්මක වූ Alganehi සිව්වැනි ගෝලය ලකුණු පුවරුවට එක් කළේ ගෝලය අසලටම රැගෙන ආ පන්දුවක් ඉදිරියට පැමිණි ගෝල රකින්නා මග හරිමින් දැල තුලට යොමු කරමිනුයි.

තරගයේ 90 වැනි මිනිත්තුවේ දී කටාර් ක්‍රීඩකයින් හට දඬුවම් පහරක් හිමි වූ අතර Hashim Ali විසින් සාර්ථකව එය ගෝලය තුලට එල්ල කළේ අද තරගයේ දී ඔහු විසින් සාර්ථක කර ගත් දෙවැනි ගෝලයට ද හිමිකම් කියමින්.

ඒ ගෝලයත් සමඟින් තරගය අවසන් වුනේ ගෝල 5-0ක් ලෙස ප්‍රබල කටාර් ක්‍රීඩකයින් හමුවේ ශ්‍රී ලංකාව තරගාවලියේ දෙවැනි පරාජයත් වැලඳ ගනිමිනුයි.

මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පන්දු පාලනයේ අඩුපාඩු දක්නට ලැබුණු නමුත් පෙර තරගයේ දී මෙන් විශිෂ්ට ගෝල රැකීම් කිහිපයක් ද මේ තරගයේ දී වාර්තා වුනා.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 0 – 5 කටාර් රාජ්‍යය

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්:

  • කටාර්: Hashim Ali 28’ & 90’, Yusuf Abdurisag 39’, Naif Alhadrami 54’, Ahmed Alganehi 62’

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය එළඹෙන 31 වැනිදා යේමනය සමඟ පැවැත්වීමට නියමිතයි. තරගය රාත්‍රි 8:30 ආරම්භ වන්නේ දෝහා හි Suheim bin Hamad ක්‍රීඩාංගණයේ දීයි. එම තරගයේ ද උණුසුම විඳගන්න, රැඳී සිටින්න ThePapare.com සමඟ

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<