බිග් බෑෂ් ලීගයේ කාලසටහන නිකුත් වෙයි

398
Cricket Australia

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානම ප්‍රිමියර් ලීග් තරගාවලිය වන බිග් බෑශ් තරගාවලිය සඳහා වන සම්පූර්ණ කාලසටහන නිවේදනය කර තිබේ.

ඕස්ට්‍රේලියාව දෙසැම්බර් මාසයේ දී මෙම ලීග් තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මෙම තරගාවලිය පූර්ණ විස්සයි විස්ස තරගාවලියක් ලෙස ක්‍රීඩා කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව වී ඇත. මෙම තරග කාලසටහන නිකුත් කරමින් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසා සිටියේ තමන් මෙම කාලසටහන නිවේදනය කළ ද COVID-19 වසංගතය නිසා මෙම කාලසටහනට බලපෑම් විය හැකි බවයි.

>> ඩෙන්ලි එලියට; රූට් නැවතත් කණ්ඩායමට

2020 බිග් බෑශ් තරගාවලිය 10 වැනි තරගාවලිය වන අතර එය දෙසැම්බර් 3 වැනිදා Adelaide Strikers හා Melbourne Renegafes අතර තරගයෙන් ආරම්භ වේ. එම තරගය සඳහා Adelaide Strikers සත්කාරකත්වය දරයි. ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාව පුරා තරග 60ක් පැවැත්වීමට නියමිතය. තරගාවලියේ අවසන් තරගය 2021 වසරේ පෙබරවාරි 6 වැනිදා පැවැත්වේ.

ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 29 දක්වා කාලය තුල කාන්තා බිග් බෑෂ් ලීගය පැවැත්වීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ. ඒ අනුව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලිය මඟින් සිය විකාශකයින් සඳහා වන ගිවිසුම් සපුරාලනු ඇත. මෙම වසරේ දී ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලි අන්තර්ගතය අඩු වීම නිසා විකාශකයන්ට ගෙවීමට තිබූ වන්දි ගෙවීම් ඒ අනුව කපා හැරෙනු ඇත. 

කෙසේ වෙතත් මෑතක දී මෙල්බර්න් සහ සිඩ්නි හි කොරෝනා වයිරසය පැතිර යාමත් සමඟින් ඕස්ට්‍රේලියාවේ අන්තර් රාජ්‍ය ගමන් සීමා කිරීමට එරට රජය තීරණය කළා. මේ නිසා බිග් බෑශ් කාලසටහනට තවමත් පූර්ණ අනුමැතිය ලැබී නොමැත. 

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ බිග් බෑෂ් තරගාවලි ප්‍රධානී ඇලිස්ටෙයාර් ඩොබ්සන් පැවසුවේ මහජනතාවගේ, ක්‍රීඩකයන්ගේ සහ සහායක කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම තරගාවලිය පැවැත්වීමේ දී මහජන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට සහ සෞඛ්‍ය නියාමනයන් සකස් කිරීමට තමන් සැලසුම් කරන බවයි.

>> පොඩි අඩියෙන් ලොකු පිම්මක් පැන්න ඉන්දීය වේගපන්දු යවන්නා

“කොරෝනා වයිරසය හමුවේ මේ වගේ තරගාවලියක් පැවැත්වීම වගේම එහි කාලසටහන සැලසුම් කිරීමත් ලොකු අභියෝගයක්. ඒක අපි ප්‍රායෝගිකව අත්වින්දා” ඩොබ්සන් පැවසීය.

“කොරෝනා වයිරසයේ බලපෑමත් එක්ක පසු කාලයක දී කාලසටහනට බලපෑම් එල්ල වෙන්න පුළුවන්.”  

ඕස්ට්‍රේලියාව මෙම කොරෝනා වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියා A කණ්ඩායමේ සංචාර සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලු ක්‍රීඩා තරග අත්හිටුවා ඇත. නමුත් එරට දේශීය තරගාවලිය වන ෂෙෆීල්ඩ් කුසලාන තරගාවලිය හා සෙසු දේශීය තරගාවලි ඉදිරියට පවත්වා ගෙන යාමට සැලසුම් කර ඇත. එයට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරග 4කින් යුත් තරගාවලිය ද ඇතුළත් වේ.

2020 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව ඇත. එම ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමේ හැකියාව පිළිබඳව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිරන්තරයෙන් සොයා බලමින් සිටී. තරගාවලිය පවත්වන්නේ දැයි යන්න පිළිබඳව අවසන් තීරණය මීළඟ සති කීපය තුල ගැනීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<