ඩෙන්ලි එලියට; රූට් නැවතත් කණ්ඩායමට

3445

එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය හෙට (16) මැන්චෙස්ටර් හිදී ආරම්භ වීමට නියමිත අතර එම තරගය සඳහා එංගලන්ත නිත්‍ය නායක ජෝ රූට් නැවතත් කණ්ඩායමට පැමිණීමට නියමිතය.

දශක දෙකකට පසු කොදෙව්වන්ට ඓතිහාසික ජයක්

ඒ අනුව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී වැඩි දස්කම් අතරට පැමිණීමට නොහැකි වූ ජෝ ඩෙන්ලි හට දෙවන ටෙස්ට් තරගයේ දී සිය ස්ථානය අහිමි වීමට වැඩි ඉඩක් තිබෙන අතර තරගාවලිය තුල තවදුරටත් රැඳී සිටීමට නම් මේ තරගය ජය ගැනීම හෝ ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීම සඳහා එංගලන්ත කණ්ඩායමට වැඩි වගකීමක් තිබේ.

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නිත්‍ය නායක ජෝ රූට් පසුගිය ජූලි 08 වැනිදා පැවති පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වූයේ ඔහු දෙවන වරටත් පිය පදවිය ලබා ගැනීම නිසාවෙනි. ඒ නිසාවෙන් උපනායක බෙන් ස්ටෝක්ස් එම තරගයේ දී නායකයා ලෙස කටයුතු කළ අතර එම තරගය තියුණු සටනකට පසුව කඩුලු 4කින් ජය ගැනීමට කොදෙව්වෝ සමත් වූහ.

එංගලන්ත තේරීම් කමිටුව දෙවන ටෙස්ට් තරගයට යොදවන කණ්ඩායම පිළිබඳව දැඩි ලෙස කතාබහකට ලක්වෙමින් සිටින අතර එහි දී ජෝස් බට්ලර්, ජෝ ඩෙන්ලි සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් යන ක්‍රීඩකයින් පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇත.

එංගලන්ත – කොදෙව් පළමු ටෙස්ට් තරගයේ දී පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 204ක් පමණි.

එංගලන්ත ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ක්‍රිස් සිල්වර්හූඩ් ජෝස් බට්ලර් පිළිබඳව මෙසේ සිය අදහස් පවසා සිටියේය.

“2019 වසර තුල බට්ලර්ගේ ටෙස්ට් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 23.22ක් වගේ අගයක තමයි තිබ්බේ. ඔහුගේ අවසන් ඉනිම 75ටම ඔහු ලබාගෙන තියෙන්නේ එක ශතකයි. අපි ඔහුව තාම පීඩනයකට ලක් කලේ නැහැ. මොකද එහෙම කළොත් එහෙම ඔහුගේ මුළු ක්‍රිකට් දිවියම අවුල් වෙලා යන්න පුළුවන්. ජොස්ට අපි තවත් අවස්ථාවන් දෙනවා. මොකද ඔහු හොඳ ක්‍රීඩකයෙක්. හැබැයි මේ දවස්වල ලකුණු අතර නැති එක තමයි ගැටලුව. හැබැයි අපි පළමු ඉනිමේ ලබාගත්ත අකුණු 204 සඳහා බට්ලර්ගෙන් වැඩි දායකත්වයක් ලැබුණා. ඒකත් අමතක කරන්න බැහැ. ඔහුට ඔහුගේ හැකියාව පිළිබඳව අපි තව විශ්වාසය දෙන්න ඕනේ. ඔහු සතුව තිබෙන විශ්වාසය තව වැඩි කරන්න ඕන.”

“වයස අවුරුදු 22ක් වෙන සැක් ක්‍රොව්ලි ඉතාමත් හොඳින් ලකුණු අතරට පැමිණියා. ඔහු තාම ටෙස්ට් තරග 5යි ගහල තියෙන්නේ. ඔහු දෙවන ඉනිමේ ලකුණු 76ක් ගැහුවා පළමු ඉනිමේ ලකුණු 10යි. මේ වගේ වයසක මේ වගේ අත්දැකීම් ප්‍රමාණයක් තියාගෙන කොදෙව් වේගපන්දු යවන්නන් හමුවේ ඔහු ලබා ගත් ලකුණු සහ ඒ දස්කම් ගැන අපිට  ගොඩක් සතුටුයි. ඊළඟ තරගයේ දී කණ්ඩායමේ සමබරතාවය රඳවා ගන්න විදිහ ගැනත් අපිට ටිකක් බලන්න වෙයි. මොකද රූට් ආයිත් කණ්ඩායමට එන නිසා, වගේම තරගාවලිය තුල තවදුරටත් රැඳී ඉන්න අපිට ඕනේ නිසා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<