CPL තරගාවලියට දින තීන්දුයි

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

134
CPL T20 Ltd.2021

කොදෙව් දූපත් හි ක්‍රිකට් සැණකෙළිය හෙවත් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන අප්‍රේල් 28 වැනිදා ආරම්භ වීමට නියමිත බව කොදෙව් ක්‍රිකට් ආයතනය අද (21) නිල වශයෙන් නිවේදනය කළා.

ඒ අනුව තරගාවලිය අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 19 වැනිදා දක්වා කැරිබියන් දූපත් හිදී පැවැත්වීමට නියමිතයි.

පසුගිය වසරේ තරගාවලිය මෙන්ම මෙවර තරගාවලිය ද පූර්ණ සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන යටතේ ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුල පැවැත්වෙනවා. මීට පෙර තරගාවලිය Trinidad & Tobago හිදී පැවැත්වුව ද මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ St. Kitts and Nevis හිදී බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මෙවර තරගාවලිය සඳහා තරග 33ක් ඇතුළත් වන අතර එම තරග සියල්ලම Warner Park හිදී පැවැත්වීමට නියමිතයි.

කොදෙව් ක්‍රිකට් සංස්කෘතියට ආවේණික ලක්ෂණ සහිත කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය වසර කීපය තුල කැපී පෙනෙන ලෙස ප්‍රසිද්ධියක් අත්කර ගැනීමට සමත් වුනා. ලොව ප්‍රිමියර් ලීග් තරගාවලි අතරින් ඉදිරියෙන්ම පවතින තරගාවලියක් ලෙස කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ද පත්වුනා. 

2020 වසරේ පැවති තරගාවලිය කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ සාර්ථකම තරගාවලිය බවට පත්වූ අතර එහි ගෝලීය නරඹන්නන් සංඛ්‍යාව මිලියන 523ක් ලෙස දැක්වුනා. එය 2019 වසරේ තරගාවලියට සාපේක්ෂව ගාණෙන් 67%ක වර්ධනයක්. 

තවත් ක්‍රිකට් පුවත්: 

තරගාවලියේ දින වකවානු පිළිබඳව නිවේදනය කරමින් තරගාවලියේ අධ්‍යක්ෂක Pete Russell අදහස් දක්වා සිටියා.

“2021 වසරේ තරගාවලිය පවත්වන්න පුළුවන් කාලවකවානුවක් සොයා ගැනීමට හැකි වීම පිළිබඳව ක්‍රිකට් ආයතනය විදිහට අපි ගොඩක් සතුටු වෙනවා. මම මේ සම්බන්ධයෙන් St Kitts & Nevis ආණ්ඩුවට ස්තූතිවන්ත වෙනවා. ඔවුන් මේ වසරේ තරගාවලිය පවත්වන්න එකඟ වුන එක ඉතාමත් අගය කරනවා. ඒ වගේම අපි කොදෙව් ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා තරගාවලිය සංවිධායකයන් වන අපිට ලබා දුන්න සහයෝගය සම්බන්ධයෙන්. කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත් කාර්‍යබහුල කාලයක් වුනත් ඔවුන් මේ තරගාවලිය පවත්වන්න හැකි සෑම සහයෝගයක්ම ලබා දුන්නා. අපි බලාපොරොත්තු වෙනවා කිසිම බාධාවකින් තොරව 2021 හීරෝ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය පවත්වන්න පුළුවන් වේවි කියලා.” 

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය කොදෙව් කණ්ඩායමේ කාර්‍යබහුල කාලසටහනේ අවසානය සනිටුහන් කිරීමට නියමිතයි. ඔවුන් ඉදිරි මාස කීපය තුල දකුණු අප්‍රිකාව සමඟින් ටෙස්ට් තරග දෙකක් සහ විස්සයි විස්ස තරග 5ක්, ඕස්ට්‍රේලියාව සමඟින් විස්සයි විස්ස තරග 5ක් සහ ටෙස්ට් තරග දෙකක් මෙන්ම පාකිස්තානය සමඟින් විස්සයි විස්ස තරග 5ක් සහ ටෙස්ට් තරග 2ක් සඳහා සහභාගී වීමට නියමිතයි.

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය 2013 වසරේ දී ආරම්භ වූ අතර මෙවර තරගාවලිය එහි 9 වැනි අදියර ලෙස පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා Barbados Tridents, Guyana Amazon Warriors, Jamaica Tallawahs, St Kitts & Nevis Pariots, St Lucia Zouks සහ Trinbago Knight Riders ලෙස කණ්ඩායම් 6ක් සහභාගී වනවා.

පසුගිය වසරේ පැවති තරගාවලියේ ශූරතාවය Trinbago Knight Riders කණ්ඩායම සමත් වූ අතර එය ඔවුන් තරගාවලි ඉතිහාසය තුල වාර්තා කළ සිව්වැනි ශූරතාවය ලෙස සටහන් වුනා. කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසය තුල සාර්ථකම කණ්ඩායම වන්නේ ද Trinbago Knight Riders කණ්ඩායමයි. 

2019 වසරේ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පස්දෙනෙකු එක්ව සිටියා. කෙසේ වෙතත් පසුගිය වසරේ තරගාවලිය සඳහා කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු එක්වුනේ නැහැ.

මෙවර තරගාවලිය ප්‍රේක්ෂකයන් සඳහා විවෘත වන්නේ දැයි මෙතෙක් තහවුරු කර නැහැ. 

Cricbuzz ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<