ගයන්තිකා මූලික වටයේ 5 වැනි තැනට

ලෝක මලල ක්‍රීඩා ශූරතාවය 2022

275

මේ දිනවල ඇමරිකාවේ දී පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 800 ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න එහි මූලික වටය පස්වැන්නා ලෙස අවසන් කරන්නට සමත් වුනා.

මූලික වටයේ දෙවැනි තේරීම් තරගයට සහභාගී වූ ගයන්තිකා එය මිනිත්තු 2:02.35ක කාලයකින් අවසන් කිරීමට සමත් වූ අතර එය ඇයගේ ක්‍රීඩා දිවියේ මීටර් 800 ඉසව්වට වාර්තා කළ දෙවැනි හොඳම කාලය ද වුනා.

කෙසේ නමුත් එම ඉසව්වේ ඇති තරගකාරිත්වය නිසා ගයන්තිකා හට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි නොවුනත් සමස්ත ක්‍රීඩකාවන් 45ක් අතරින් 29 වැන්නා ලෙස මූලික වටය අවසන් කිරීමට ඇයට හැකි වීම විශේෂත්වයක්.

මීටර් 800 ඉසව්වෙන් ආසියානු පදක්කම් ලාභියෙකු වන ගයන්තිකා එම ඉසව්වෙන් මෙරට බිහි වූ දක්ෂතම ක්‍රීඩිකාවක් වන අතර එම ඉසව්ව සඳහා ඇයගේ පෞද්ගලික හොඳම කාලය සටහන් වන්නේ මිනිත්තු 2:01.44ක් ලෙසයි.

ගයන්තිකා ලෝක ශූරතාවයක් සඳහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර ඇය මෙවර ලෝක ශූරතාවයට සුදුසුකම් ලැබුවේ තරගාවලිය සඳහා වූ ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 1161ක් සමඟ 46 වැන්නා ලෙසයි.

කාන්‍තා මීටර් 800 ඉසව්වෙන් වර්තමානයේ ඉහළ දස්කම් අතර සිටින ගයන්තිකා මෙම මාසය අවසානයේ දී ආරම්භ වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වට ද සහභාගී වීමට නියමිතයි.

මෙම තරගයත් සමඟ මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ තරග සියල්ලම අවසන් වන අතර ගයන්තිකාට අමතරව මෙවර තරගාවලිය සඳහා යුපුන් අබේකෝන් සහ නිලානි රත්නායක සහභාගී වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<