IPL හැරයාම ගැන රිචඩ්සන්ගෙන් පිළිතුරක්

431

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණි. මෙවර තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන්ට වඩා, ඉන් ඉවත්වන ක්‍රීඩකයන් පිළිබඳව බොහෝදෙනා සිය අවධානය යොමු කර තිබේ. 

මෙලෙස ඉවත්වන තවත් එක් ක්‍රීඩකයෙකු බවට ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක කේන් රිචඩ්සන් පත්ව තිබේ. කේන් රිචඩ්සන් සිය ඉවත්වීම පිළිබඳව Cricbuzz වෙත සිය අදහස් දක්වා තිබිනි.

කේන් රිචඩ්සන් සහ ඔහුගේ බිරිඳ මේ වන විට ඔවුන්ගේ පළමු දරුවාගේ උපත බලාපොරොත්තුවෙන් සිටින අතර එම අවස්ථාව මඟහරවා ගැනීමට තමන් අකමැති හෙයින් මෙලෙස තරගාවලියෙන් ඉවත්වන බව කේන් එහිදී පවසා තිබේ.

කේන් රිචඩ්සන්ගෙන් හිස්වන ස්ථානයට ඕස්ට්‍රේලියා දඟපන්දු යවන ක්‍රීඩක ඇඩම් සැම්පා එක්කර ගැනීමට තමන් තීරණය කළ බව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පසුගියදා නිල වශයෙන් නිවේදනය කර තිබිනි. ඇඩම් සැම්පා මේ වන විට එංගලන්ත – ඕස්ට්‍රේලියා සීමිත පන්දුවාර තරගාවලිය සඳහා සහභාගී වීමට එංගලන්තය වෙත පැමිණ තිබේ.

සිය ඉවත්වීම පිළිබඳව අදහස් දක්වමින් කේන් රිචඩ්සන් පවසා සිටියේ මෙවර තරගාවලියෙන් ඉවත් වුවද තමාට ඉදිරි වසර වලදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට අවස්ථාව ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

මේ වගේ ලෝක මට්ටමේ තරගාවලියකින් ඉවත්වෙන එක ලේසි තීරණයක් නෙමෙයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය කියන්නේ ලෝකයේ ප්‍රබලතම ප්‍රිමියර් ලීග් තරගාවලිය යි. ඒත් මම මේ තීරණය ගන්න කලින් ගොඩක් හිතුවා. මම කල්පනා කළා දැන් අපි මේ මුහුණදෙන තත්ත්වත් එක්ක නිවැරැදිම තීරණය ඒක කියලා.” යනුවෙන් කේන් රිචඩ්සන් පැවසීය.

“දරුවෙකුගේ උපත අනපේක්ෂිත දෙයක්. මට ඒ වෙලාවේ මගේ පවුලේ අයත් එක්ක ඉන්න ඕන වුනා. මම මේ තරගාවලියට සහභාගී වුනා නම් ඒ වෙලාවට මට යන්න පුළුවන් වේවිද කියලා සැකයක් මට තිබුනා. මේ තත්ත්වය එක්ක අපේ සෞඛ්‍යය ගැන අපි හිතන්න ඕනේ. ඉතින් ඒක ලොකු අභියෝගයක්. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මඟහැරීම ඇත්තටම කණගාටුවක්. ඒත් මට ඊළඟ වසර වලදී මේ තරගාවලියට සහභාගී වෙන්න පුළුවන් වේවි. ඒත් මගේ පළවෙනි දරුවාගේ උපත මට මඟහරුනොත් මට ඒකට ආයෙත් කවදාවත් සහභාගී වෙන්න බැරි වේවි. 

“අපි අපේ පවුලේ අයත් එක්ක දැන් මාස පහක් වගේ කාලයක් ගත කළා. කිසිම තරගයක් නැතිව. මම හිතනවා දැන් මේ තත්ත්වය අඩුවෙලා ගිහින් ආරම්භ වුන ක්‍රිකට් තරග දිගටම තියේවි කියලා. මට අවශ්‍ය වුන වැදගත්ම දේ මගේ බිරිඳට උදව් කරන එක. ක්‍රිකට් ක්‍රීඩකයන් විදිහට අපි අපේ ජීවිත වල වැදගත් අවස්ථා රැසක දී ගෙදර ඉන්නේ නැහැ. ඒත් කාලයක් එනවා අපේ ගෙදර අයට, පවුලේ අයට ප්‍රමුඛත්වය දෙන්න ඕනෙ වෙන. වෙනත් කිසිම දේකට වඩා අපිට වැදගත් වෙන්නේ පවුල. මමත් තීරණය කළා මගේ පවුලට මුල් තැන දෙන්න.” 

තවත් ක්‍රිකට් පුවත්

රිචඩ්සන් පසුගිය කාලය තුළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්ව තිබිනි. ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස සංචිතය තුළ සෙමෙන් සහ ස්ථාවරව සිය අසුන වෙන්කර ගැනීමට ඔහු සමත්ව ඇත. ඔහුගේ අවසන් විස්සයි විස්ස තරග නවය තුළ ලකුණු ලබා දීමේ වේගය 6.64ක් ලෙස සටහන්ව ඇත. කෙසේවෙතත් ඔහු කොරෝනා වෛරසයට පෙර ලබාගෙන සිටි රිද්මය නැවතත් ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසුවේ.

අපි මාස පහක් ක්‍රීඩාවෙන් ඈත්වෙලා හිටියේ. දැන් ඒක ආයෙත් පටන්ගන්න කාලය ඇවිල්ලා. ක්‍රිකට් ආයෙත් පටන්ගන්න තුරු අපි දැනගෙන හිටියේ නෑ පටන්ගන්න පුළුවන් වේවි කියලා. ඒත් පසුගිය මාස 12 දිහා ආපසු හැරී බැලුවොත් මම හිතනවා මම සාර්ථකයි කියලා. විස්සයි විස්ස කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් ලබාගන්න ලැබීම ලොකු සතුටක්. එංගලන්තය එක්ක ක්‍රීඩා කරද්දී කවදාවත් 100% ක් නිදහසේ සුවපහසුවෙන් ඉන්න බැහැ. ඒත් මට විශ්වාසයි සිකුරාදා තරගයට මගේ නම ඇතුළත් වේවි.”  

“අපේ සංචිතය ගත්තම වේගවත් පන්දු යවන්නන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් අපිට හරියටම කියන්න බැහැ ක්‍රීඩා කරන්නේ කවුද කියලා. ඒත් මට විස්වාසයි ක්‍රීඩා කරන්නේ කවුරු වුනත් ඔවුන් හොඳින් දස්කම් දක්වාවි කියලා. 

රිචඩ්සන්ට අමතරව විස්සයි විස්ස විශේෂඥ පන්දු යවන්නෙකු වීමේ අපේක්ෂවෙන් පසුවන ඇන්ඩෲ ටයි ආබාධයකින් පසුව නැවතත් ඕස්ට්‍රේලියා සංචිතයට ඇතුළත්ව ඇත. එමෙන්ම ඩැනියෙල් සෑම්ස් ද සංචිතයට ඇතුළත් වන බැවින් රිචඩ්සන්ට සිය ස්ථානය සඳහා යම් අභියෝගයක් එල්ලවී ඇත. ඇන්ඩෲ ටයි සහ ඩැනියල් සෑම්ස් යන දෙදෙනාම පුහුණු තරග වලදී වඩා හොඳ ප්‍රතිඵල අත්කර ගැනීම නිසා රිචඩ්සන්ගේ අභියෝගය තවත් තීව්‍ර වී ඇත.

කෙසේවෙතත් ඒ පිළිබඳව අදහස් දක්වමින් කේන් රිචඩ්සන් පවසා සිටියේ එලෙස තරගකාරීත්වයක් තිබීම සිය දක්ෂතා වැඩි කරගැනීමට හේතුවක් බවයි.

මම හිතන්නේ හැම පන්දු යවන්නෙකුගේම දක්ෂතා සහ ශක්තීන් එකින් එකට වෙනස්. ඇන්ඩෲ ටයි ගත්තම ඔහුගේ knuckleball පන්දුව ගොඩක් විශේෂයි. ඒක ප්‍රසිද්ධයි. නමුත් දැන් ඔහුගේ ඉරියව්ව තරමක් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා දැන් ඔහු තරමක් වේගවත් පන්දු යවනවා.”  

සෑම ක්‍රීඩකයෙක්ම තමන්ගේම ශක්තීන් හෝ හැකියාවන් වලින් කණ්ඩායමට විවිධත්වයක් ගෙන එනවා. පන්දු යැවීමේ දී අපිට අවශ්‍ය වන්නේ එයයි. අපේ සංචිතයේ පන්දු යවන්නන් නවදෙනෙක් ඉන්නවා. ඒ නිසා අපි හැමෝටම ඉටුකරන්න වගකීමක් තියෙනවා.

එංගලන්ත ඕස්ට්‍රේලියා සීමිත පන්දුවාර තරගාවලියට අදාළව පෙරහුරු තරග තුනක් පැවැත්විනි. ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාව සිය සංචාරය ආරම්භ කරන්නේ සැප්තැම්බර් මස 04 වනදාය. ඒ විස්සයි විස්ස තරගාවලියෙනි.

විස්සයි විස්ස තරගාවලිය තරග දෙකකින් සමන්විත වන අතර එය සවුත්හැම්ප්ටන්හි දී පැවැත්වේ. ඉන් අනතුරුව එක්දින තරගාවලිය සඳහා සහභාගී වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම මැන්චෙස්ටර් බලා පිටත්වීමට නියමිතය.

Cricbuzz ඇසුරිනි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<