මහ සභා රැස්වීම අවසන්; මහනුවර සභාපති අසුන නොවෙනස්

1038
Kandy SC

මෙරට රග්බි ක්‍රීඩාව තුල අගනුවරින් පිටත තිබෙන එකම ක්‍රීඩා සමාජය ලෙස මහනුවර ක්‍රීඩා සමාජය හැඳින්විය හැකි අතර වසර 146ක දීර්ඝ ඉතිහාසයක් සහිත මහනුවර ක්‍රීඩා සමාජය රග්බි ක්‍රීඩාව තුල ලබාගෙන ඇති ස්ථානය අද්විතීය ය. 

හැව්ලෝක් ක්‍රීඩා සමාජයේ මුල් පුටුව හිටපු ක්‍රීඩකයෙකුට

ඒ අනුව එම අද්විතීයත්වය තවදුරටත් ඉදිරියටත් රැගෙන යන්නට, ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස හිටපු සභාපති මහේෂ් වීරසිංහ මහතා නැවතත් තෝරාපත් කරගැනීමට ඊයේ (25) එම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා නිවහනේ දී පැවති 146 වැනි මහ සභා රැස්වීමේ දී සම්මත විය. 

මහනුවර ධර්මරාජ විද්‍යාලය නියෝජනය කරමින් රග්බි ක්‍රීඩාවට පිවිසි මහේෂ් වීරසිංහ මහතා මෙලෙස සභාපති ලෙස පත්වූයේ තුන්වැනි වතාවටය. 

පසුගිය වසර කීපයක කාලය තුල මහනුවර ක්‍රීඩා සමාජයේ අනුශාසකවරයා ලෙස මලික් සමරවික්‍රම මහතා කටයුතු කළේය. එහෙත් මේ වසරේ දී එම ධුරයෙන් ඉවත් වීමට ඒ මහතා තීරණය කිරීමත් සමඟින් හිස්වූ අනුශාසක ධුරය රන්ජිත් පේජ් මහතාට හිමිව ඇත. කෙසේ වෙතත් ක්‍රීඩා සමාජයේ භාරකරු ලෙස මලික් සමරවික්‍රම මහතා කටයුතු කිරීමට නියමිතය.

මෙම වසරේ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය එළඹෙන නොවැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර නිමා වූ 2019/20 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ ද ශූරතාව දිනා ගැනීමට සමත් වූයේ නයිජල් රත්වත්තේගේ නායකත්වය යටතේ තරග කළ මහනුවර ක්‍රීඩා සමාජය යි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<