Major League පිටිය තවත් දිනක් අක්‍රියයි

SLC Major League Cricket Tournament 2022

128

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ 9 වැනි සතියේ දෙවැනි දිනය වූ අද (15) දවස ද වර්ෂාව හේතුවෙන් කිසිදු තරගයක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් පැවතියේ නැහැ. 

පෙර දිනයේ ආරම්භ කිරීමට නියමිත ව තිබූ සියලු තරග වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණ අතර අද ද ඒ ආකාරයෙන් ම පැවැත්වීමට තිබූ සියලු තරග දෙවැනි දවසටත් අතහැර දැමුණා.

පෙර දිනයේ සේ ම අද පෙරවරුවේත් පැවති වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් සෑම ක්‍රීඩාංගණයක් ම පැවතියේ තරග පැවැත්වීමට නුසුදුසු තත්ත්වයෙන්. මේ හේතුව මත විනිසුරුවන් විසින් මේ තීරණය ගනු ලැබුවා.

ඒ අනුව තෙදින තරගවල දින දෙකක් ම මේ වන විට වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ නොයවා අතහැර දමා ඇති අතර මෙය තරගාවලියේ තරගකාරීත්වයට දැඩි බලපෑම් එල්ල කර තිබේ.

එම තත්ත්වය හේතුවෙන් මේ සතියේ පැවැත්වීමට නියමිතව තිබූ තරග වෙනත් දිනයක දී නැවත පැවැත්වීමට අවසර ඉල්ලා ක්‍රීඩා සමාජ කිහිපයක් ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටීමට සූදානමක් ද පවතිනවා.

කෙසේ වෙතත් අද පවතින කාලගුණික තත්ත්වය හෙට දිනයේ ද බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඔවුන් විසින් අද සවස 4.00ට නිකුත් කරනු ලැබූ නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය හෙවත් අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් දැනට පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්වයන් තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි.

ඒ අනුව තරග ක්‍රියාත්මක ව පවතින බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවත් ඔවුන් පවසනවා.

දෙවැනි දිනටත් පැවැත්වීමට නොහැකි වූ තරග

Group A

  • BRC සහ සෙබස්තියනයිට්ස් අතර තරගය BRC පිටියේ දී
  • ගාල්ල සහ මූවර්ස් අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • කළුතර සහ රාගම අතර තරගය මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • කැන්ඩි කස්ටම්ස් සහ SSC අතර තරගය තර්ස්ටන් ක්‍රීඩා පිටියේ දී
  • කුරුණෑගල සහ කුරුණෑගල යූත් අතර තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී
  • ලංකන් සහ පොලිසිය අතර තරගය SSC පිටියේ දී

Group B

  • Ace කැපිටල් සහ බදුරලිය අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී
  • බ්ලූම්ෆීල්ඩ් සහ ටැමිල් යූනියන් අතර තරගය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පිටියේ දී
  • හලාවත මේරියන්ස් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගය වැලිසර නාවික පිටියේ දී
  • මීගමුව සහ පානදුර අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී
  • සැරසන්ස් සහ නුගේගොඩ අතර තරගය මූවර්ස් පිටියේ දී

තරගාවලියේ නවතම පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<