රුමේෂ් මීටර් 90ට තවත් ළං වෙයි!

Champions Track & Field 2026

245

කොළඹ දියගම දී පැවැත්වුණු Champions Track & Field මලල ක්‍රීඩා තරගාවලියේ දී පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට රුමේෂ් තරංග විසින් සමත් වුනා. 

රුමේෂ් විසින් ඊයේ (28) දිනයේ දී මෙම ඉසව්වට සහභාගී වෙමින් පළමුව මීටර් 78.39ක දුරක් සටහන් කිරීමට සමත් වුනා. 

ඉන් පසුව ඔහු කෙමෙන් කෙමෙන් සිය දක්ෂතාව ඉහළ නංවා ගනිමින් පිළිවෙළින් මීටර් 83.35, 83.68, 84.33 සහ 84.62 ලෙසින් දුර සටහන් කිරීමට සමත් වුනා. 

ඉන් පසුව සිය අවසන් විසි කිරීම වෙනුවෙන් රුමේෂ් නැවත හෙල්ල අතට ගත් අතර, එවර ඔහුගේ දක්ෂතාව සටහන් වුනේ මීටර් 89.37ක් ලෙසයි. 

මෙය තවමත් නිල වශයෙන් පිළිගත් දුරක් ලෙස සටහන් වී නොමැති නමුත්, එය තහවුරු වේ නම් මෙය පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව වෙනුවෙන් නව ශ්‍රී ලංකා වාර්තාව ලෙස සටහන් වනු ඇති. 

මේ වන විට මෙම ඉසව්ව සඳහා ශ්‍රී ලංකා වාර්තාව ලෙස මීටර් 86.50ක දුරක් සටහන් වී ඇති අතර, එම වාර්තාව ද රුමේෂ් විසින් ම පසුගිය වසරේ දී පිහිටවනු ලැබූ එකක් ලෙසයි සටහන් වන්නේ. 

රුමේෂ් විසින් වසරින් වසර සිය දක්ෂතා අලුත් කර ගනිමින් ඉදිරියට යන අතර, පසුගිය වසරේ දී ඔහු විසින් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ද සහභාගී වුනා. 

එහි දී ඔහු අවසන් තරගකරුවන් 12 දෙනා අතරට ද එක් වෙමින් තමන් ලෝක මට්ටමට එළඹ ඇති බවට පළමු සංඥාව නිකුත් කිරීමට සමත් වුනා. 

මේ වන විට රුමේෂ් මෙම වසරේ ලොව හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතාව ලෙස (ඊයේ දැක්වූ මීටර් 89.37ක දක්ෂතාව නොසලකා හරිමින්) මීටර් 83.07ක දුරක් සටහන් කිරීමට ද සමත් වී සිටිනවා. 

එමෙන්ම රුමේෂ් මේ වන විට හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම් හි 09 වැනි ස්ථානයේ රැඳෙන්නේ ලකුණු 1246ක් ද සමඟයි.

රුමේෂ්ගේ මෙම දක්ෂතාව ලෝක මට්ටමේ ද ඉහළ ස්ථානයක රැඳෙන අතර, හෙල්ල විසි කිරීමේ ඉසව්ව පිළිබඳ තවත් විශේෂාංග ලිපියකින් ඒ පිළිබඳ සියලු දත්ත ඔබ හමුවේ තැබීමට ThePapare සූදානම්. 

දෙස්, විදෙස් මලල ක්‍රීඩාවේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<