ඉරී ගිය සපත්තු මැලියම් ගා අලවන සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින්

386

ක්‍රිකට් ක්‍රීඩාව සහ එහි නිරත වන ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිබඳව සඳහන් කරන ඕනෑම අවස්ථාවක දී සමස්තයක් ලෙස ඕනෑම අයෙකුගේ සිහියට නැඟෙන්නේ ඉතා අධික ලෙස මුදල් සම්බන්ධ වන සුඛෝපභෝගී පරිසරයක් සහ පසුබිමක් යැයි පැවසීම වරදක් නොවේ. 

ඒ අනුව අප ලොව ධනවත් ම ක්‍රීඩාවන් ලැයිස්තු ගත කිරීමක් සිදු කළහොත් ක්‍රිකට් ක්‍රීඩාව එහි ඉහළින් ම පසුවන ක්‍රීඩා 10 අතරට එක්වනු ඇති බවට කිසිදු සැකයක් නොමැත. ඒ ඉතා දියුණු යටිතල පහසුකම් පද්ධතියක්, ඇති තරම් අනුග්‍රාහකයින් සහ මුදල් බිලියන ගණනින් වැය වන ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි මෙන්ම, දේශීය ලීග් තරගාවලි ආදී අංග රැසකින් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව සවිමත් වී තිබීමත් සමඟයි. 

මෙවන් පසුබිමක් තුළ එහි නිරත වන ක්‍රිකට් ක්‍රීඩකයින්ට ද බොහෝ දුරට ඉතා සුඛෝපභෝගී ජීවිත ගත කරන්නට අවස්ථාව ලැබෙන්නේ ඔවුන්ට ලැබෙන ඉහළ වැටුප් සහ මුදල් ත්‍යාග, අනුග්‍රාහකයින්, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වැනි ලීග් තරගාවලිවල දී හිමි වන ඉතා ඉහළ මුදලක් සහිත ගිවිසුම් සහ ක්‍රීඩාව තුළින් ම ගොඩනැඟෙන වෙනත් ආදායම් මාර්ග ඔස්සේ සමස්තයක් ලෙස ඔවුන් කරා සැලකිය යුතු ධනස්කන්දයක් ළඟා වීම හේතුකොටගෙන ය. 

ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන බොහෝ රටවල්වල තත්වය මෙසේ වුවත් එවන් එක් රටක ඔවුන් දශක ගණනාවක් තිස්සේ ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටියත් මීට දින කිහිපයකට පෙර ඔවුන්ට තම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සපත්තු සඳහා අනුග්‍රාහකයෙකු පවා සොයා ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබූ බව පැවසුවහොත් ඒ පිළිබඳ නොදත් බොහෝ දෙනෙකුට එය පුදුමයට කාරණයක් වනු ඇති බවට සැකයක් නැත. 

ඒ අන් කිසිවෙක් නොව, අප කවුරුත් හොඳින් හඳුනන සිම්බාබ්වේ කණ්ඩායම යි. 

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට වර්තමානයේ මේ උදා වී තිබෙන තත්වය පිළිබඳව ලෝකයේ අවධානය යොමුවන්නට වූයේ එම කණ්ඩායම නියෝජනය කරන 27 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක Ryan Burl විසින් Twitter සමාජ වෙබ් අඩවිය ඔස්සේ පසුගිය මැයි මස 22 වැනි දින පළකර තිබූ හද කම්පා කරවන පණිවිඩයක් සමඟයි.

ඒ අනුව ඔහු එම Twitter පණිවිඩයේ සඳහන් කර තිබුණේ “අපිට අනුග්‍රාහකයෙක් හොයාගන්න අවස්ථාවක් තියෙනවා ද, එතකොට වත් හැම තරගාවලියකට ම පස්සේ අපිට අපේ සපත්තු අලව අලව ඉන්න වෙන එකක් නැහැ,” යනුවෙනි. එම පණිවිඩය තුළ ඔහු ඡායාරූපයක් ද ඇතුළත් කර තිබූ අතර එහි දැක්වුණේ ඉරී ගොස් හානියට පත් සපත්තුවක් ඔවුන් මැලියම් යොදා නැවතත් අලවා දමන ආකාරය යි. 

Ryan මෙය පළකර මිනිත්තු කිහිපයක් තුළ සිම්බාබ්වේ කණ්ඩායමට උදා වී තිබෙන මෙම තත්වය පිළිබඳව ලොව පුරා දස දහස් සංඛ්‍යාත ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමුවන්නට වූ අතර අනතුරුව ඔවුන් එම පණිවිඩය Twitter තුළ පමණක් නොව අනෙකුත් සමාජ ජාලාවල ද නැවත නැවතත් පළකර සිටින්නට වූයේ ක්‍රීඩා කණ්ඩායම්වලට සපත්තු සපයන ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් ද එම පණිවිඩ තුළ සඳහන් කරමින් ඔවුන්ගේ අවධානය ද මෙම ගැටලුව කරා යොමුකරමිනි. 

තවදුරටත් ලොව ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන ද මේ පිළිබඳ තොරතුරු සිය වෙබ් අඩවි සහ සමාජ ජාලා තුළ පළකිරීමත් සමඟ ඒ වන විටත් ඊට ලැබී තිබූ අවධානය තවත් ඉහළ යන්නට විය. 

ඒ අනුව එම පණිවිඩය පළ වී පැය 24ක කාලයක් ඉක්ම යන්නටත් මත්තෙන් Ryanට සහ සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඔහුගේ අනෙකුත් සඟයින්ට ඉතා සතුටුදායි ආරංචියක් ලැබෙන්නට විය. එම සුබ ආරංචිය ඔවුන් වෙත රැගෙන එනු ලැබුවේ ලොව ප්‍රමුඛ පෙළේ පාවහන් සහ සපත්තු නිෂ්පාදන ආයතනයක් වන PUMA සමාගම විසිනි. 

ඊට පසු දිනයේ ම PUMA සමාගම ඔවුන්ගේ PUMA Cricket නිල Twitter ගිණුම හරහා Ryanගේ පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් තහවුරු කර සිටියේ ඔවුන් සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට සපත්තු ලබා දෙමින් අනුග්‍රාහකත්වය දැක්වීමට සූදානම් බවයි. 

ඒ අනුව “මැලියම් පැත්තකට දාන්න කාලය හරි දැන්. මම ඔබලාව ආවරණය කරනවා,” ලෙස PUMA Cricket විසින් පළ කළ එම Twitter ප්‍රතිචාරයේ දැක්වුණු අතර ඊට මිනිත්තු කිහිපයකට පසුව Ryan ද සිය Twitter ගිණුමේ සටහනක් තබමින් ඒ බව තහවුරු කර සිටින්නට විය. 

“මම PUMA Cricket කණ්ඩායම සමඟ එක්වෙනවා කියලා ගොඩක් ආඩම්බරයෙන් නිවේදනය කර සිටිනවා. මේ හැමදෙයක් ම සිදු වුනේ පසුගිය පැය 24ක කාලය තුළ ක්‍රීඩාලෝලී ඔබ දුන්න උදව් සහ සහයෝගය නිසා. ඒකට ඔබ හැමදෙනාට ම මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. PUMA සමාගමටත් ගොඩක් ස්තූතියි,” යනුවෙන් ඔහු පළකර තිබූ එක Twitter සටහනේ දැක්විය. 

අනතුරුව PUMA සමාගම විසින් ඔවුන් සිම්බාබ්වේ ක්‍රීඩකයින් හට ලබා දුන් පොරොන්දුව, පොරොන්දුවකට ම පමණක් සීමා නොකොට එය යථාර්ථයක් බවට පත්කිරීමට යුහුසුළුව කටයුතු කරනු ලැබුවේ ඊට පසු දිනයේ ම (මැයි 24) ඉතා අගනා සපත්තු කට්ටල ගොන්නක් ඔවුන් වෙත යැවීම උදෙසා නැව්ගත කිරීමට කටයුතු සිදු කරමිනි. මේ පිළිබඳව ද දැනුවත් කරමින් ඔවුන් සිය PUMA Cricket නිල Twitter ගිණුමේ සටහනක් එක්කරන්නට විය. 

මෙහි විශේෂත්වය නම් සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම් කට්ටලයේ යොදාගන්නා රතු සහ කහ වර්ණයන්ට මනාව ගැළපෙන ඒ වර්ණයන්ගෙන් ම සැදුම්ලත් සපත්තු කට්ටල PUMA සමාගම විසින් ඉතාමත් සුළු කාලයක් තුළ නිමවා ඔවුන් වෙත යොමුකිරීමට සමත් වීමයි. 

PUMA සමාගමේ මෙම සත්කාරය වෙනුවෙන් ඔවුන්ව ඇගයීමට ලක්කරමින් ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රීඩාලෝලීන් මෙන්ම මාධ්‍ය ආයතන ද ඔවුන්ගේ සමාජ ජාලා තුළ සටහන් එක්කරන්නට වූ අතර ඒ අනුව ඔවුන් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ලබා දුන් මේ අනුග්‍රාහකත්වය හරහා සෑම තරගාවලියක් ම අවසානයේ සිය සපත්තු මැලියම් ගල්වා ඇලවීමට සිදුවීම පිළිබඳව කරදර නොවී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමේ අවස්ථාව දැන් Ryan සහ කණ්ඩායමේ ඔහුගේ අනෙක් සඟයින්ට උදා වී ඇත.

වරෙක Andy Flower, Grant Flower, Andy Blignaut, Heath Streak සහ Murray Goodwin වැනි ඉතා දක්‍ෂ ක්‍රීඩකයින්ගෙන් සවිමත්ව තිබූ සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම එම ක්‍රීඩකයන් අඛණ්ඩව දැක්වූ දක්‍ෂතා හමුවේ 1997-2002 දක්වා කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉතා ප්‍රබල කණ්ඩායමක් ලෙස ඉදිරියට පැමිණෙන්නට වූ නමුත් අනතුරුව රට අභ්‍යන්තරය තුළ හට ගත් දේශපාලන අර්බුද හා ඒ හරහා ක්‍රිකට් ක්‍රීඩාවට සහ පරිපාලනයට එල්ල වූ අනිසි බලපෑම් හේතුවෙන් එරට ක්‍රිකට් ක්‍රීඩාව දැඩි පසුබෑමකට ලක්වන්නට විය. 

පසුව 2010 වසර පමණ වන විට ඔවුන් යළිත් ප්‍රගතියක් අත්කර ගන්නා සලකුණු පෙනෙන්නට වුවත් ඉන් අනතුරුව ද ඔවුන්ට අඛණ්ඩව මුහුණ දීමට සිදු වූ විවිධ අර්බුද හමුවේ පසුගිය දශක කාලය තුළ සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් පරිහානියට සහ පසුබෑමට ලක්ව ඇත. 

තවත් කියවන්න;

ලෝක කුසලානයේ කණ්ඩායම් ගණන ඉහළට

හෂාන් තිලකරත්නට අලුත් වගකීමක්

තීරණාත්මක Fitness test එකක් සිකුරාදා

ඒ ජයග්‍රහණය අපේ සැලසුම් නිවැරදි බව තහවුරු කළා – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

පසුගිය 2019 වසරේ දී ඔවුන්ගේ මෙම පරිහානිය උග්‍රතම අවස්ථාවක් කරා ළඟා වන්නට වූයේ එරට රජය පත්කරන ලද ක්‍රීඩා සහ විනෝදාස්වාද කොමිසම විසින් ඔවුන්ගේ ක්‍රිකට් ආයතනය අත්හිටුවා තාවකාලික මණ්ඩලයක් ස්ථාපිත කිරීමත් සමඟ යි. 

ඊට ප්‍රතිචාර ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඔවුන් සංවිධානය කරනු ලබන තරගාවලිවලට සහභාගී වීමට නොහැකි වන පරිදි සිම්බාබ්වේ කණ්ඩායමට වහාම තහනමක් පනවන්නට ක්‍රියාමාර්ග ගනු ලැබුවේ එරට ක්‍රිකට් ආයතනයට එල්ල වූ දැඩි දේශපාලන මැදිහත්වීම් ඊට හේතු ලෙස දක්වමිනි. 

අනතුරුව නැවතත් එරට ක්‍රිකට් ආයතනය නිසි පරිදි ස්ථාපිත කරන්නට කටයුතු කෙරුණත් මෙම තහනම මාස කිහිපයක් බලපැවැත්වෙන්නට වුනේ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට 2020 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට සහභාගී වීමට තිබූ අවස්ථාව ද අහිමි කරමිනි. 

තවදුරටත් මෙම තහනම බලපැවැත්වුණු කාලය තුළ ICCය විසින් එරට ක්‍රිකට් ආයතනයට පිරිනමන අරමුදල් ද අත්හිටවුණු අතර ඒ හේතුවෙන් මාස කිහිපයක් ම ඔවුන්ගේ ක්‍රීඩකයින්ට සහ කාර්ය මණ්ඩලයට වැටුප් නොමැතිව කටයුතු කරන්නට සිදු වූහ. 

කෙසේ නමුත් මාස කිහිපයකින් අනතුරුව ICCය විසින් එම තහනම ඉවත් කරමින් ඔවුන් ලබා දෙන අරමුදල් නැවත වරක් සුපුරුදු පරිදි පිරිනමන්නට කටයුතු කිරීමත් සමඟ මේ වන විට යළිත් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ICCය සංවිධානය කරන තරගාවලිවලට සහභාගී වීමේ අවස්ථාව හිමිව ඇතත් අනුග්‍රාහකයින්ට අදාළව පවතින ගැටලු, අවශ්‍ය තරම් තරගාවලි සංවිධානය කරගැනීමට නොහැකි වීම සහ ක්‍රීඩකයින් අඛණ්ඩ දක්‍ෂතා දැක්වීමට අපොහොසත් වීම ආදී විවිධ ගැටලු හේතුවෙන් ඔවුන් තවමත් ඉහළ දක්‍ෂතා අතරට පැමිණීමට අසමත්ව ඇත. 

කෙසේ නමුත් මෙවන් පසුබිමක් තුළ PUMA සමාගම සිම්බාබ්වේ ක්‍රීඩකයින්ගේ සපත්තු සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත් වීම ඔවුන්ගේ ඉදිරි ගමනට මනා පිටිවහලක් වනු ඇති බව නම් නොඅනුමාන ය.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<