මලිදු මදුරංග පවර් ටෙක් කණ්ඩායම අවසන් තරගයට රැගෙන යයි

311

දක්ෂ පිතිකරුවෙකු හා කඩුලු රකින්නෙකු වන මලිදු මදුරංගගේ අර්ධ ශතකය සමඟින් බලගැන්වුනු පවර් ටෙක් කණ්ඩායම, අද (7) පැවැත්වූ වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අවසන් පූර්ව තරගයක දී ජෝන් කීල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

සංගා, මහේල, අරවින්ද අලූත් සූත්‍රයක් සමඟින් නැවතත් පිටියට

ක්‍රීඩා අමාත්‍යංශයේ දී ඊයේ (03) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී, ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයින් තිදෙනෙකු වන…

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එක් කණ්ඩායමක් පන්දුවාර 47කට සීමා වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පවර් ටෙක් කණ්ඩායම පළමුව පන්දු යවන ලදි.

කටුනායක නිදහස් වෙළඳ කලාප පිටියේ දී පළමුව පිතිකරණයේ නිරත වූ ජෝන් කීල්ස් කණ්ඩායම සියල්ලන්ම දැවී ලකුණු 149ක් රැස් කළේය. නමුත් ඔවුන් එක් අවස්ථාවක දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 97ක් ලබාගෙන ප්‍රබල තැනක පසුවූවත්, ගොඩනැඟූ සවිමත් අඩිතාලම මැදපෙළ පිතිකරුවන් හට තරගයේ නියමිත පන්දුවාර ප්‍රමාණය නිමාවන තෙක් පවත්වාගෙන යාමට නොහැකි විය.

දකුණතින් පා දඟපන්දු යවන ක්‍රීඩක ලහිරු ප්‍රනාන්දු ජෝන් කීල්ස් ඉනිම සුනුවිසුනු කරමින් කඩුලු 5ක් දවා ගන්නා ලදි. ඒ ජෝන් කීල්ස් කණ්ඩායමේ අවසන් කඩුලු 8 ලකුණු 52ක් වැනි අවම මට්ටමකට ද දවා ගැනීමට පවර් ටෙක් කණ්ඩායමට සවියක් වෙමිනි. නමුත් ජෝන් කීල්ස් පිළ වෙනුවෙන් කවීන් බණ්ඩාර ලකුණු 39ක් ලබා ගත්තේ ඔවුන්ගේ පිළට යම් සවියක් වෙමිනි. පන්දු යැවීමේ දී ලහිරුට අමතරව දසුන් සෙනවිරත්න ද කඩුලු 3ක් දවා ගන්නා ලදි.

ලකුණු 150ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පවර් ටෙක් කණ්ඩායම වෙනුවෙන් දිනෙත් තිමෝද්‍ය හා මලිදු මදුරංග අගනා පිතිකරණයක නිරත වෙමින් පිළිවෙළින් ලකුණු 39ක් හා ලකුණු 50ක් ලබා ගැනීමට සමත් විය. මනෙල්ක ද සිල්වා හා සෙනෙවිරත්න ද පිළිවෙළින් නොදැවී ලකුණු 28*ක් හා ලකුණු 20*ක් ලබාගෙන දස්කම් අතර පැමිණියේ, සිය කණ්ඩායමට කඩුලු 7ක ජයක් උරුම කර දෙමිනි.

අද පැවැත්වූ අනෙක් අවසන් පූර්ව තරගය කොළඹ වෙළඳ සංගම් පිටියේ දී පැවැත්වූවත්, එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එය පැවැත්වීමට නොහැකි විය. ඒ අනුව MAS සිලුඒටා කණ්ඩායම හෝ කොමර්ෂල් ක්‍රෙඩිට් (B) කණ්ඩායම සමඟින් පවර් ටෙක් කණ්ඩායම මෙම තරගාවලිය අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කරනු ඇත.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (B) – 149/10 (44.5): කවීන් බණ්ඩාර 39, රවිඳු කොඩිතුවක්කු 24, ලහිරු ප්‍රනාන්දු 5/29, දසුන් සෙනෙවිරත්න 3/15.

පවර් ටෙක් – 151/3 (21.3): මලිදු මදුරංග 50, දිනෙත් තිමෝද්‍ය 39, මනෙල්ක ද සිල්වා 28*, දසුන් සෙනෙවිරත්න 20*, සසිඳු පෙරේරා 2/47.

   තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න