ලසිඳු, ජනිත ප්‍රමුඛ වරාය ක්‍රීඩකයින්ගෙන් ඓතිහාසික ජයක්

277

චීන තායිපේ හි පැවති 2019 ආසියානු අන්තර් සමාජ පිරිමි වොලිබෝල් තරගාවලියේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම සමත් විය.

වරාය අධිකාරිය සුපිරි 8 දෙනාගේ වටයට

2019 අන්තර් සමාජ ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා වරාය…

ආසියානු වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කළ ආසියානු ශූරතා තරගාවලියක දී ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙතෙක් වාර්තා කළ ඉහලම දක්ෂතාවය මෙය බවට පත්විය. පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම ආසියානු වොලිබෝල් තරගාවලියට එක්වූ අතර එහි දී ඔවුන් 7 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. එය මෙතෙක් වාර්තා වී තිබූ උපරිම දක්ෂතාවය වේ. Lanka Lions යන නාමය යටතේ එම වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට එක්විය.

ශ්‍රි ලංකා වරාය අධිකාරි කණ්ඩායම පළමු වටයේ දී B කාණ්ඩය නියෝජනය කළ අතර එහි දෙවන ස්ථානය දිනා ගන්නට ඔවුන් සමත් විය. ඒ සමඟින් අවසන් 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම තරගාවලියේ F කාණ්ඩය යටතේ තරගවැදි ජපානය නියෝජනය කළ Panasonic Panthers හා වියට්නාමය නියෝජනය කළ TP.HCM කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම හා Panasonic Panthers කණ්ඩායම අතර තරගය

අතිශය උද්වේගකර තරගයක් වූ මෙම තරගය කණ්ඩායම් දෙකම කරට කර සටන් කරන ආකාරයක් දක්නට ලැබුණි. මුල් තරග වට 3ම ජයග්‍රහණය කළ Panasonic Panthers කණ්ඩායම තරගයේ ජයග්‍රහණය වාර්තා ක‍ළේය. එහි ලකුණු තත්ත්වය ලකුණු 25-21ක්, 25-23ක් හා 25-21ක් ලෙස දැක්විය.

මෙම තරගයේ දී සුපුරුදු පරිදි තම වගකීම උපරිමයෙන් ඉෂ්ට කළ ජනිත සුරත් ලකුණු 17ක් කණ්ඩායමට එක් කළේ spike අවස්ථාවන් 12ක්, පන්දුව පිරිනැමීමේ දී ලකුණු ලබා ගැනීමේ අවස්ථාවන් 3ක් හා පන්දුව වැළැක්වීම මගින් ලකුණු 2ක් ලෙසිනි. ඔහුගේ මෙම දක්ෂතාවන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට තරම් ප්‍රමාණවත් නොවිනි.

ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම හා TP.HCM කණ්ඩායම අතර තරගය

මෙම තරගයේ දී තම උපරිම දක්ෂතා අතරට පැමිණීමට සමත් වූ වරාය අධිකාරි කණ්ඩායම පළමු වටය ජයග්‍රහණය කළේ ලකුණු 25-21ක් ලෙසිනි. දෙවන වටය ලකුණු 18-25ක් ලෙස පරාජය වුවද තුන්වැනි හා සිව්වැනි වට දෙකම ලකුණු 25-20ක් හා 27-25ක් ලෙස ජයග්‍රහණය කළ වරාය අධිකාරි කණ්ඩායම තරග වට 3-1ක් ලෙස ජයග්‍රහණය කළේය.

වරාය අධිකාරි කණ්ඩායම වෙනුවෙන් ජනිත සුරත් ලකුණු 30ක් වාර්තා කළේ spike අවස්ථාවන් 27ක්, පිරිනැමීම මගින් ලබා ගන්නා ලකුණු 2ක් හා වැළැක්වීම මගින් ලබා ගත් ලකුණක් එයට අයත් විය. ඔහුට අනගි සහයක් ලබා දුන් ලසිඳු මෙත්මාල් කණ්ඩායමට ලකුණු 29ක් එක් කළේ spike අවස්ථාවන් 26ක් හා පන්දු වැළැක්වීම් 3ක් සමඟිනි. මලිත් දිනිඳු spike අවස්ථාවන් 9ක්, පන්දු වැළැක්වීම් 4ක් හා පිරිනැමීම මගින් ලබා ගන්නා එක් ලකුණක් සමඟින් ලකුණු 14ක් තම කණ්ඩායමට එක් කළේය.

අර්ධ අවසන් පූර්ව වටය

අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට එම වටයේ දී ප්‍රබල ප්‍රතිවාදියෙක් හිමි විය. ඒ චීන තායිපේ නියෝජනය කළ Al-Rayyan කණ්ඩායමයි. මෙම Al-Rayyan කණ්ඩායමට සර්බියාව, කියුබාව, බ්‍රසීලය වැනි ප්‍රබල රටවල් රැසක ක්‍රීඩකයන් එක්ව සිටීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම හා Al-Rayyan කණ්ඩායම අතර තරගය

තරගයේ ආරම්භක වටයේ පටන් ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට Al-Rayyan කණ්ඩායම සමත් විය. පළමු වටය ලකුණු 25-14ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට Al-Rayyan කණ්ඩායම සමත් විය.

දෙවන වටයේ දී තරමක අභියෝගයක් එල්ල කිරීමට වරාය අධිකාරි කණ්ඩායම සමත්වුවද එම වටය ජයග්‍රහණය කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය. එම වටය Al-Rayyan කණ්ඩායම ජයග්‍රහණය කළේ ලකුණු 25-22ක් ලෙසිනි. තුන්වැනි වටය ද ලකුණු 25-12ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කළ Al-Rayyan කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.

කණ්ඩායම වෙනුවෙන් ලසිඳු මෙත්මාල් ලකුණු 11ක් එක්කළ අතර ජනිත සුරත් ලකුණු 10ක් කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළේය.

තරගාවලියේ 5 වැනි හා 8 වැනි ස්ථාන සඳහා පැවැත්වූ අවසන් පූර්ව තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට සිදු වූයේ ඕස්ට්‍රේලියාව නියෝජනය කළ Queensland Pirates කණ්ඩායමටයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම හා Queensland Pirates කණ්ඩායම අතර තරගය

මෙම තරගයේ පළමු වට දෙකම පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට වරාය අධිකාරි කණ්ඩායම සමත් විය. ඒ ලකුණු 25-22ක් හා 25-17ක් ලෙසිනි. තුන්වැනි වටය අතිශය තරගකාරී වූ අතර ජයග්‍රාහකයා තෝරා ගැනීමට ලකුණු 31ක් දක්වා ජයග්‍රාහී ලකුණු මට්ටම ඉහල දැමීමට සිදු විය. එම වටය ලකුණු 31-29ක් ලෙස ජයග්‍රහණය කිරීමට Queensland Pirates කණ්ඩායම සමත් විය. සිව්වැනි වටය සාර්ථකව ලකුණු 25-21ක් ලෙස ජයග්‍රහණය කළ වරාය අධිකාරි කණ්ඩායම තරගාවලියේ 5 වැනි ස්ථානය සඳහා වන තරගය සඳහා සුදුසුකම් ලැබීය.

මෙහි දී ලසිඳු මෙත්මාල් ලකුණු 24ක් කණ්ඩායමට එක්කිරීමට සමත් විය. ඒ spike අවස්ථාවන් 23ක් හා පන්දු වැළැක්වීම් එකක් මගිනි. ජනිත සුරත් ලකුණු 22ක් වාර්තා කළ අතර එම ලකුණු spike අවස්ථා 18ක්, පිරිනැමීම මගින් ලබා ගන්නා ලකුණු 3ක් හා පන්දුව වැළැක්වීම මගින් ලබා ගන්නා එක් ලකුණක් ලෙස වාර්තා විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම හා Taichung Bank කණ්ඩායම අතර තරගය

5 වැනි ස්ථානය සඳහා වන තරගය සඳහා වරාය අධිකාරි කණ්ඩායම සමඟින් චීන තායිපේ නියෝජනය කළ Taichung Bank කණ්ඩායම තරගයට පිවිසි අතර අතිශය තරගකාරී තරගයක් වූ මෙහි ජයග්‍රාහකයා සොයා ගැනීමට තරග වට 5ක් දක්වා තරගය පැවැත්වීමට සිදු වීම විශේෂත්වයකි.

පළමු වටය ජයග්‍රහණය කිරීමට වරාය අධිකාරි කණ්ඩායම සමත් වූයේ ලකුණු 25-16ක් ලෙසිනි. දෙවන වටයේ දී තරගයට අවතීර්ණ වූ Taichung Bank කණ්ඩායම දෙවන වටය ජයග්‍රහණය කළේ ලකුණු 20-25ක් ලෙසිනි. තුන්වැනි වටයේ ජයග්‍රහණය වරාය අධිකාරි කණ්ඩායමට හිමි වූයේ ලකුණු 26-24ක් ලෙසිනි. ඒ අනුව තරග වට 3ක් අවසානයේ වරාය අධිකාරි කණ්ඩායම තරගයේ පෙරමුණ ගෙන සිටියේ තරග වට 2-1 ක් ලෙසිනි.

සිව්වැනි වටය ජයග්‍රහණය කිරීමට Taichung Bank කණ්ඩායම සමත් වූයේ ලකුණු 19-25ක් ලෙසිනි. ඒ සමඟින් තරගයේ ජයග්‍රහණය තීරණය කිරීමට තීරණාත්මක පස්වැනි වටය ආරම්භ විය.

මෙහි දී දක්ෂ තරගයක නිරත වූ ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම එම තරග වටය ලකුණු 15-09ක් ලෙස ජයග්‍රහණය කළේ තරගයේ ජයග්‍රහණය තරග වට 3-2ක් ලෙස වාර්තා කරමිනි.

මෙම තරගයේ දී වැඩිම ලකුණුලාභියා බවට පත්වීමට ජනිත සුරත් සමත් වූයේ spike අවස්ථාවන් 28ක් හා පන්දු වැළැක්වීමක් මගින් ලකුණු 29ක් කණ්ඩායම එක්කරමිනි. ඔහුට අනගි සහයක් ලබා දුන් ලසිඳු මෙත්මල් ලකුණු 18ක් කණ්ඩායම වෙනුවෙන් වාර්තා කිරීමට සමත් විය. මලිත් දිනිඳු ලකුණු 14ක් කණ්ඩායමට එක් කළේ spike අවස්ථාවන් 13ක් හා එක් පන්දු වැළැක්වීමක් මගිනි.

ඒ අනුව 2019 ආසියානු අන්තර් සමාජ වොලිබෝල් තරගාවලියේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම සමත් විය. තරගාවලිය පුරාම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වගකීමක් ඉටු කළ ජනිත සුරත් හා ලසිඳු මෙත්මාල් වසන්තප්‍රියගේ දක්ෂතාවන් කැපී පෙනිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මහත් අභිමානයක් ගෙන දීමට සමත් වූ ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායමට ThePapare.com උණුසුම් සුබ පැතුම් එක් කරමු.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<