ආසියා සත් සාමාජික තරගාවලියට දින නියම වෙයි

236

කොරෝනා වසංගතය හමුවේ නැවතුණ  ආසියා සත් සාමාජික රග්බි පිටියට නැවත ජීවය ලබා දෙන්නට ආසියානු රග්බි සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ ප්‍රධාන පෙළේ තරගාවලි සියල්ල මේ වසරේ දී පවත්වන්නට තීරණය කරමින්.

ඒ අනුව මෙම ආකෘතියේ පළමු තරගාවලිය ලෙස ආසියානු වයස අවුරුදු 17න් පහළ කාන්තා සත් සාමාජික තරගාවලිය මේ මස 18 වැනිදා උස්බෙකිස්තානයේ දී ආරම්භ වීමට නියමිතයි.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය අදියර තුනකින් සමන්විත වූවත් මෙවර එය එක් අදියරක් දක්වා පමණක් සීමා කර තිබෙන අතර එම අදියර මේ වසරේ නොවැම්බර් 19 සහ 20 දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි. කාන්තා සහ පිරිමි දෙඅංශයේ ම තරග එම දින දෙකේ දී පවත්වා අවසන් කරනු ඇත.

ශ්‍රී ලංකා රග්බි පිටිය කොරෝනා වසංගතය නිසාවෙන් මුළුමනින් අඩපණ වූ අතර පසුගිය අගෝස්තු මාසයේ දී නැවතත් මෙරට රග්බි පිටියට ජීවය ලබා දෙමින් CH&FC සහ ගුවන් හමුදාව අතර සුහද තරගාවලියක් සංවිධානය කෙරුණා.

ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික කණ්ඩායම අවසන් වරට තරගාවලියක් සඳහා සහභාගී වූයේ 2019 වසරේ ඔක්තෝබර් මාසයේ පැවති ඔලිම්පික් සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් සඳහායි. ඉන්පසුව කණ්ඩායමට නව පුහුණුකරුවෙකු හෝ කිසිදු පුහුණු සැසියකට කණ්ඩායම සහභාගී වී නැහැ.

මේ වසරේ මුල් භාගයේ දී ජාතික සත් සාමාජික සංචිතයේ නායක දනුෂ් දයාන් විසින් පුහුණුවීම් නැවත පටන්ගන්නා ලෙස බලධාරීන්ගෙන් ආයාචනය කළ නමුත්, වසංගත තත්වය හමුවේ පුහුණුවීම් කටයුතු ආරම්භ කරන කාලසීමා සම්බන්ධයෙන් තීරණයකට ඔවුන් එළඹ තිබුණේ නැහැ.

කෙසේ නමුත් ආසියා සත් සාමාජික තරගාවලිය සඳහා තවත් ඇත්තේ මාස දෙකක පමණ කාලසීමාවක් වන අතර බලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ක්‍රියාවට නංවනු ඇත.

ප්‍රධාන දිනවකවානු:

ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය – කාන්තා සහ පිරිමි – නොවැම්බර් 19 සහ 20 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<