වර්ෂාවේ බාධා මැද MAS යුනිචෙලා ජය කෙහෙලි නංවයි

596
MCA

කලකට පෙර ජාත්‍යන්තරය ජය ගත් ක්‍රීඩකයින් රැසකට නැවතත් දේශීය තරගවල දී දස්කම් දක්වමින් ඉහළ තලයට යෑම සඳහා ප්‍රබල අත්වැලක් සපයන 25 වැනි වෙළඳසේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 3ක් ඊයේ දිනයේ (26) පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

නමුත් වර්ෂාවෙන් ඇතිවූ බාධා කිරීම් හමුවේ ඉන් තරග දෙකක්ම ප්‍රතිඵලයකින් තොරවම අත්හැර දැමීමට සිදු විය. කෙසේ වෙතත් ඊයේ දිනයේ නමගිය ක්‍රීඩකයින් රැසක් සහ නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක් දක්ෂතා අතරට පැමිණීමට සමත් වූහ.

අජන්ත මෙන්ඩිස්, හිමාශ ලියනගේ වෝරියස් පිලට ශූරතාවය දිනා දෙයි

2017 LAST MAN STANDING වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග ඊයේ (24) කොළඹ මුවර්ස් පිටියේ දී පැවැත්විය…

MAS යුනිචෙලා සහ කොමර්ෂල් ක්‍රෙඩිට් අතර තරගය

ඊයේ දිනයේ ප්‍රතිඵලයක් සහිතව නිමා වූ එකම තරගය වූ මෙහි ජයග්‍රහණය හිමිකර ගත්තේ ප්‍රබල MAS යුනිචෙලා කණ්ඩායමයි. එහි දී කාසියේ වාසිය දිනාගත් MAS යුනිචෙලා ක්‍රීඩකයින් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව කොමර්ෂල් ක්‍රෙඩිට් පිළට ලබා දුන්නේ ලැබෙන ඕනෑම ඉලක්කයක් හඹා යෑමට හැකි අන්දමේ විශ්වාසවන්ත පිතිකරණ බල ඇණියක් තමන් සතුවන බැවිනි. නිමාවුණු තරග රැසක දී නොකඩවා වාර්තා කළ තරග ජයග්‍රහණ මගින් යුනිචෙලා පිතිකරුවන් එම විශ්වාසනීයත්වය තහවුරු කොට තිබුණි.

ඒ අනුව මුලින් පිතිකරණයේ යෙදීමට සිදු වූ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම රැස්කර ගත්තේ ලකුණු 140ක් පමණි. MAS යුනිචෙලා පන්දු යවන්නන්ට ඔවුන්ව දවා ගැනීම සඳහා පන්දුවාර 30ක්වත් ගත නොවීය. එහි දී පසුගිය තරගවල දී ද තම දකුණත් වේග පන්දුවෙන් අණසක පැතිරවූ 39 වියැති ඉෂාර අමරසිංහ ඊයේ දිනයේදීත් ලකුණු 49ට කඩුලු 3ක් දවා ගනිමින් විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළේය. අඩි 6ක පමණ උසකින් යුතු ඉෂාර අමරසිංහ කලකට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ද වර්ණ දැරූවෙකි. හෂාන් තිලකරත්නගේ පුතු වන දුවිඳු තිලකරත්න ද ලකුණු 49කට කඩුලු 3ක් දවා ගනිමින් තම දස්කම් නොඩකවා පවත්වා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ MAS යුනිචෙලා පිතිකරුවන් පන්දුවාර 18ක් තුල දී ලකුණු 142ක් ලබාගෙන ජයග්‍රහණය තමන් සතුකර ගත්හ. කවදත් ඉතාමත් වේගයෙන් ලකුණු රැස් කිරීමට රුචිකත්වයක් දක්වන MAS යුනිචෙලා පිතිකරුවන් ඊයේ දිනයේ දී ද පන්දුවට පහර දුන්නේ පන්දුවාරයකට ලකුණු 8කට ආසන්න වේගයක් රඳවා ගනිමිනි. එහි දී මහේල උඩවත්ත නොදැවී අර්ධ ශතකයක් රැස් කර ගත් අතර ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 32ක් රැස් කර ගනිමින් යුනිචෙලා පිළ ජය කණුව කරා කැටුව ගියහ. පන්දුවාර 41කට සීමාවුණු මෙම තරගය පැවැත්වුනේ කටුනායක FTZ පිටියේ දීයි.

කොමර්ෂල් ක්‍රෙඩිට් – සියල්ලන්ම දැවී ලකුණු 140 (පන්දුවාර 28.2): තිසර පෙරේරා 52*, අශාන් ප්‍රියන්ජන් 26, ඉශාර අමරසිංහ 3/26, දුවිඳු තිලකරත්න 3/49, ශෙහාන් මධුශංක 2/21.

MAS යුනිචෙලා – කඩුලු 3ක් දැවී ලකුණු 142 (පන්දුවාර 18): මහේල උඩවත්ත 51*, ධනුෂ්ක ගුණතිලක 32*, අසිත ප්‍රනාන්දු 2/25.


ජෝන් කීල්ස් සමාගම සහ ටීජේ ලංකා සමාගම අතර තරගය

කොළඹ MCA පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵලයකින් තොරවම අත්හැර දැමීමට සිදු විය. එහි දී කාසියේ වාසිය දිනාගත් ටීජේ ලංකා සමාගමේ ඇරයුමින් මුලින් පන්දුවට පහර දුන් ජෝන් කීල්ස් කණ්ඩායමට පන්දුවාර 42ක් සඳහා පිතිකරණයේ යෙදීමට අවස්ථාව හිමි වූ අතර නැවතත් වැසි ඇද හැලීම නිසා පන්දුවාර 35ක දී තරගය නතර කරන්නට සිදු විය.

ඒ වන විට ජෝන් කීල්ස් සමාගම කඩුලු 9ක් දැවී ලකුණු 141ක් රැස් කරගෙන සිටියහ. එහි දී කඩුලු රකින පිතිකරු සඳුන් වීරක්කොඩි ලකුණු 47ක් රැස් කරගත් අතර පා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ආබාධ තත්ත්වයන්ගෙන් මිදීමෙන් පසු නැවතත් ජාතික කණ්ඩායම හා එක්වීමට තමන් සුදුසු තත්වයේ සිටින බව පෙන්නුම් කරමින් ලකුණු 19කට කඩුලු 4ක් බිඳ දැමීය. ඉන් අනතුරුව නැවතත් වර්ෂාව පහව නොගිය නිසා තරගය ප්‍රතිඵලයකින් තොරව අවසන් කිරීමට තරග තීරකවරුන් පියවර ගත්හ.

ජෝන් කීල්ස් – කඩුලු 9ක් දැවී ලකුණු 141 (පන්දුවාර 35): සඳුන් වීරක්කොඩි 47, මදූක ලියනපතිරණගේ 30, ජෙෆ්රි වැන්ඩර්සේ 4/19.

මීට අමතරව මොරටුව ද සොයිසා පිටියේ දී පැවැත්වීමට සූදානම් කර තිබූ කැන්රිච් ෆිනෑන්ස් සමාගම සහ හේලීස් සමාගම අතර තරගය එකදු පන්දුවක් හෝ ක්‍රීඩා කිරීමෙන් තොරවම අත්හැර දැමීමට සිදු විය. ඒ මොරටු පුරවරයට ඊයේ දිනය පුරාවටම ඇද හැලුණු වර්ෂාපතනය හේතුවෙනි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට