චන්දිමාල්ලාගේ පරීක්ෂණය කල් යයි

1218

පසුගිය 27 වැනිදා නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දෙවන ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සිදු කළ පැය දෙකක තරග වර්ජනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (10) පරීක්ෂණයක් කිරීමට නියමිතව තිබුණ ද එය හෙට (11) දිනය දක්වා කල්ගොස් තිබෙන බව වාර්තා වේ.

චන්දිමාල්, හතුරුසිංහ හා ගුරුසිංහ චෝදනා පිළිගනී

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහ මහතා ඔවුන් අතින් ICC චර්යා ධර්ම සංග්‍රහයේ…

“එම සිදුවීමට අදාළ තීන්දුව දෙන්න තිබුණේ අද (10), නමුත් ඒක හෙටට කල් ගියා. 12 වැනිදා ටෙස්‌ට්‌ තරගයට ඉස්‌සෙල්ලා අපේ කරුණු විමසලා ඒ අයගේ තීන්දුව හෙටම මාධ්‍යයට දෙයි.” යැයි  ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහ යන අය විසින් ඔවුන් අතින් ICC චර්යා ධර්ම සංග්‍රහයේ 2.3.1 (පැය දෙකක තරග වර්ජනය) කොටස උල්ලංඝනය වූ බව පසුගිය 22 වැනිදා පිළිගැනීමට ලක්කළ ද ICC විසින් ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පත්කළ එංගලන්ත ජාතික අධි නීතිඥයකු වන මයිකල් බිලෝෆ් විසින් අදාළ පරීක්‍ෂණය මෙහෙයවනු ලබන අතර මෙම චෝදනා විභාගය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක චන්දිමාල්, පුහුණුකරු හතුරුසිංහ මහතා සහ කළමනාකරු වන ගුරුසිංහ යන තිදෙනාට අමතරව තවත් නීතිඥවරු දෙදෙනකු ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් සහභාගි වීමට නියමිත බව ද දැනගන්නට ලැබී ඇත.

දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ නායකත්වයත් ලක්මාල්ට?

එළඹෙන 12 වැනිදා ගාල්ලේ දී ආරම්භ වන තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වේගපන්දු…

යම් හෙයකින් ශ්‍රී ලංකා නායක, පුහුණුකරු සහ කළමනාකරු යන තිදෙනාව වරදකරුවන් බවට පත්වුවහොත් එළඹෙන බ්‍රහස්පතින්දා (12) ගාල්ලේ දී ආරම්භ වන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලියේ ටෙස්ට් ක්‍රිකට් තරග දෙකම ඔවුන්ට අහිමිව යනු ඇත. එසේ සිදුවුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් වෙතට පැවරීමට වැඩි අවස්ථාවක් තිබේ.

Skype තාක්ෂණය යොදා ගනිමින් ICC විසින් පවත්වනු ලබන පරීක්ෂණය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (11) සවස 6ට පැවැත්වීමට නියමිතව ඇත. එසේම පන්දුව පලුදු කිරීමේ වරද නිසා නායක චන්දිමාල් හට කොදෙව් තරග සංචාරයේ අවසන් ටෙස්ට් තරගය ද මඟ හැරී ගියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<