චමරි ලොව හොඳම 10 අතරට

1150

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා වූ සුදුසුකම් ලබා ගැනීමට පැවති විස්සයි විස්ස තරගාවලියේ දී දැක්වූ දස්කම් නිසාවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුට හැකිව තිබෙනවා.

නිමා වූ තරගාවලියේ දී පිතිකරණයෙන් ඉහළ දස්කම් දක්වමින් තරග හතරක් තුළ ලකුණු 221ක් ලබා ගත් ඇය කාන්තා විස්සයි විස්ස පිතිකාරිණියන් වර්ගීකරණයේ අටවැනි තැන දක්වා ස්ථාන හයක් ඉදිරියට පැමිණ තිබෙනවා.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබූ චමරි කාන්තා විස්සයි විස්ස තුන් ඉරියව් වර්ගීකරණයේ අටවැනි ස්ථානය සිට හත්වැනි තැන දක්වා ඉහළට පැමිණ ඇත්තේ ප්‍රසාද ලකුණු 285ක් සමඟයි.

එමෙන්ම තරගාවලියේ තීරණාත්මක අවසන් තරගයේ දී කඩුලු තුනක් සමඟ තරගාවලියේ මුළු කඩුලු හතරක් දවා ගත් චමරි පන්දු යවන්නියන් වර්ගීකරණයේ ද 52වැනි තැන දක්වා ස්ථාන හතරක් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

චමරිට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිතිකරණයෙන් දස්කම් දක්වමින් ලකුණු 126ක් ලබා ගත් බංග්ලාදේශ ක්‍රීඩිකා Murshida Khatun ද පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ 42 වැනි දක්වා ස්ථාන 35ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

මීට අමතරව එංගලන්තය සමඟ පැවති තරගාවලියේ දී දැක්වූ දස්කම් නිසාවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Meg Lanning සහ තුන් ඉරියව් ක්‍රීඩිකා Tahlia McGrath ද නවතම ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණ තිබෙනවා.

එංගලන්තයට එරෙහි තරගයේ දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 144ක සම්බන්ධතාවයක් මොවුන් දෙදෙනා ගොඩනැගීමට සමත් වූ අතර එහි දී පන්දු 44ක දී ලකුණු 64ක් ලබා ගත් Meg Lanning පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානය දක්වාත් පන්දු 49ක් තුළ ලකුණු 91ක් ලබා ගත් Tahlia McGrath 28 වැනි තැන දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

කාන්තා විස්සයි විස්ස පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 726ක් ලබා ගනිමින් පෙරමුණ ගැනීමට ඉන්දීය ක්‍රීඩිකා Shafali Vermaට හැකිව ඇති අතර ප්‍රසාද ලකුණු 724ක් ලබා ගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Beth Mooney හට හිමි වුනේ දෙවැනි තැනයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<