Brendan Taylorට ක්‍රිකට් තහනම් වන ලකුණු!

2100
NDTV)

හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් නායක Brendan Taylor හට වසර කිහිපයක ක්‍රිකට් තහනමක් පනවන්නට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සූදානමින් සිටිනවා.

ඒ 2019 වසරේ දී සිදු වූ තරග පාවාදීමේ සිදුවීමක් සම්බන්ධයෙනුයි. Brendan Taylor හට තරග වෙනස් කිරීමට මුදල් ලබා දී තිබුණු බව පසුව හෙළි වී තිබුණා.

Brendan Taylor සිය twitter ගිණුමේ මෙම සිදුවීම පිළිබඳව සටහනක් තබා තිබුණු අතර එහි දී ඔහු සඳහන් කර තිබුණේ 2019 වසරේ දී සිම්බාබ්වේ හි විස්සයි විස්ස තරගාවලියක් ආරම්භ කරන්නට ව්‍යාපාරිකයෙකු තමන්ට යෝජනා කළ බවත්, එහි දී තරග වෙනස් කරන්නට තමන්ව බලහත්කාරයෙන් පොළඹවා ගත් බවත්ය.

Taylorගේ නිවේදනයේ සඳහන් පරිදි මෙම තරගාවලිය පිළිබඳව සාකච්ඡා කරන්නට ඔහුට මුදල් ලබා දීමට අදාළ ඉන්දීය ජාතික ව්‍යාපාරිකයා ඉදිරිපත්ව තිබෙනවා. ඒ වන විට සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩකයින්ට මාස 6කට වැඩි කාලයක් වැටුප් ගෙවා නොතිබුනු නිසා Taylor අදාළ සාකච්ඡාවට සිය කැමැත්ත පළ කර තිබෙනවා.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් රාත්‍රී සාදයකට සහභාගී වී ඇති අතර එහි දී අදාළ ව්‍යාපාරිකයා සහ ඔහුගේ සගයින් Taylor හට කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට යෝජනා කර තිබෙනවා.

ඊට පසුදින උදෑසන ව්‍යාපාරිකයා සහ අනෙක් සගයින් Taylorගේ කාමරයට පැමිණ ඔහුට තර්ජනය කර තිබෙනවා. ඔවුන් සතුව Taylor මත්ද්‍රව්‍ය ගන්නා වීඩියෝවක් ඇති බවත්, ජාත්‍යන්තර තරග ඔවුන් පවසන පරිදි වෙනස් නොකළහොත් (Spot Fixing) එම වීඩියෝව නිදහස් කරන බවත් ඔවුන් පවසා තිබෙනවා.

Taylor එම නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ එසේ වුනත් තමන් කිසිසේත්ම තරග පාවාදීමකට සහභාගී නොවූ බවයි. ඔහු ඊට මාස 4කට පමණ පසුව ICCය වෙත මේ බව දැනුම් දී තිබෙනවා.

Flowerට පසුව සිම්බාබ්වේ බිහි කළ දක්ෂතම පිතිකරුවෙකු වන Brendan Taylor වසර 17ක් ජාත්‍යන්තර තරග බිමේ රැඳෙමින් ලකුණු 10,000කට අධික සංඛ්‍යාවක් රැස් කරගෙන තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<