සුසන්තිකාටත් කොරෝනා ආසාදනය වෙයි

168

කෙටිදුර ධාවන ඉසව්වෙන් ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩාව දිග්විජය කළ ප්‍රවීණ ක්‍රීඩිකාවක් වන සුසන්තිකා ජයසිංහ මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ලංකාදීප පුවත්පත විසින් වාර්තා කර තිබෙනවා.

45 වැනි වියේ පසුවන සුසන්තිකා ජයසිංහ මහත්මිය අසනීප තත්වයක් නිසාවෙන් සිදු කළ PCR පරීක්ෂණයකින් පසුව ඇයට COVID-19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඇයගේ දරුවන් දෙදෙනාට ද වයිරසය ආසාදනය වී තිබෙන අතර ප්‍රතිකාර සඳහා ඇය හැකි ඉක්මනින් යොමුවන බව ලංකාදීප සිදු කළ විමසුමක දී සුසන්තිකා මහත්මිය පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ අභිමානයට පාත්‍ර කළ ක්‍රීඩිකාවක් වන සුසන්තිකා ජයසිංහ මහත්මිය 2000 වසරේ පැවති සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාවට මීටර් 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කර දෙන්නට සමත් වුනා.

පසුව එම පදක්කම රිදි පදක්කමක් දක්වා උසස් කෙරුණේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත් ක්‍රීඩිකාව වූ Marion Jones තහනම් උත්තේජක ලබා ගත් බව අනාවරණය වීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට සිදු කළ අනුපමේය සේවාව වෙනුවෙන් ඇය 2017 වසරේ දී දේශබන්දු නාමයෙන් ද පිදුම් ලැබුවා.

ThePapare.com අප සියලු දෙනා සුසන්තිකා සහ ඇයගේ පවුලේ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<