CH පුහුණුකාරීත්වය හිටපු නායකයා අතට

1817

ඩයලොග් අන්තර් සමාජ ලීග් සහ සත් සාමාජික යන මෙරට ප්‍රමුඛ පෙළේ රග්බි තරගාවලි ද්විත්වයෙහි ඉදිරි තරග වාරයන් අරමුණු කරගනිමින් නව අධ්‍යක්ෂක මණ්ඩලයක් සහ තරුණ ජවයෙන් සන්නද්ධ පුහුණුකරුවන් කණ්ඩායමක් තෝරාපත් කරගැනීමට කොළඹ ජිම්කානා ක්‍රීඩා සමාජ කණ්ඩායම කටයුතුකොට ඇති බව වාර්තා වේ.

මෙරට රග්බි පිටියෙහි අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවෙකු ලෙස අවිවාදයෙන්ම හඳුන්වාදිය හැකි නිහාල් ‘වයිපර්’ ගුණරත්න මහතාගේ ගුරු හරුකම් යටතේ පසුගිය තරග වාරය අවසන් කළ CH කණ්ඩායම ඊට හාත්පසින්ම වෙනස් උපායමාර්ගයක් මෙවර අනුගමනය කර තිබෙන්නේ කණ්ඩායම ඉදිරියට රැගෙන යාමේ භාරධූර වගකීම තරුණ පුහුණුකරුවගේ අතට පත් කරමිනි. 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කරමින් රග්බි ක්‍රීඩා දිවියට අත්පොත් තැබූ හිටපු CH&FC නායක රෝහිත රාජපක්ෂ මහතා පළමු වරට A කාණ්ඩයේ කණ්ඩායමක් සමඟින් තම අත්දැකීම්, දැනුම බෙදාහදා ගැනීමට සූදානමින් පසුවන්නේ ලෝක රග්බි සම්මේලනය විසින් සහතික කරන ලද පුහුණුකරු පාඨමාලාව සම්පූර්ණ කළ මෙරට ළාබාලතම පුහුණුකාරවරයා වීමේ ගෞරවය ද තමන් සතු කරගනිමිනි. 

තවත් රග්බි පුවත්:

 

රග්බි ක්ෂේත්‍රයේ වසර ගණනක පළපුරුද්ද සමඟින් ප්‍රධාන පෙළේ කණ්ඩායම් රැසකට තම දායකත්වය ලබා දුන් ශම්ලි නවාස්, දුමින්ද ද සිල්වා සහ රජිව් පෙරේරා යන මහත්වරුන් ද එම පාඨමාලාව අවසන් කළ සෙසු පුහුණුකරුවන් ලෙසින් ක්‍රියාකාරීව රග්බි පිටියේ කටයුතු ක‍රයි. 

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය කණ්ඩායම් හට ගුරුහරුකම් ලබා දෙමින් තම හැකියා දක්ෂතා මුවහත් කරගත් රෝහිත රාජපක්ෂ මහතා ඔහුගේ පුහුණුකාර දිවියේ ඉහළම ජයග්‍රහණය පසුගිය වසරේ දී ළඟා කරගත්තේ වයස අවුරුදු 19න් පහළ ජාතික රග්බි කණ්ඩායම හට ආසියානු කනිෂ්ඨ රග්බි ශූරතාවලියේ පළමු කාණ්ඩයෙහි කිරුළ උරුමකරදීමේ ප්‍රධාන කොටස්කරුවකු බවට පත්වෙමිනි. 

2020/21 තරග වාරය සඳහා CH කණ්ඩායම මෙහෙයවීමේ සුක්කානම නැවතත් වරක් හිටපු ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම් නියමු සුදර්ශන මුතුතන්ත්‍රී වෙත හිමි වී ඇති අතර ආරංචි මාර්ග අනුව මහනුවර, CR සහ හැව්ලොක් කණ්ඩායම් නියෝජනය කළ නම්දැරූ ක්‍රීඩකයින් රැසක්ම CH සමඟ එකතු වීමේ සූදානමක් පවතින නිසාවෙන් සුපිරි තරු රැසකගෙන් සැදුම් ලත් කණ්ඩායමකට නායකත්වය ලබා දීම සුදර්ශන හට අභියෝගයක් වනු ඇත.

පසුපෙළ ක්‍රීඩකයින් සහ සමස්ත කණ්ඩායමේ ශාරීරික සුවතාව ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමේ වගකීම පිළිවෙළින් රජීව් පෙරේරා සහ දිනේෂ් කුමාර මහත්වරුන් වෙත භාර කිරීමට ද කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ.

මීට අමතරව ජිම්කානා ක්‍රීඩා සමාජයෙහි සභාපති ධූරය ෂම්මි සිල්වා මහතා වෙත හිමි වී ඇති අතර එහි ලේකම් ධුරයේ රාජකාරි කටයුතු පැවරී ඇත්තේ ටනේෂ් බී. ඩයස් මහතා වෙතයි. දිදුල රාජපක්ෂ සහ සුදන්ත බණ්ඩාර මහත්වරුන් හට කාරක සභිකයින් ලෙස ඔවුන්ගේ සේවාව ලබා දීමේ අවස්ථාව ද සලසා දී තිබේ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<