All Blacks රග්බි පිටිය හෙල්ලීමට සූදානම් වන පිය-පුතු දෙදෙනා

467
Caleb Clarke and Eroni Clarke

ක්‍රීඩාවෙන් සුවිශේෂී දස්කම් දැක්වූ මවකගේ හෝ පියෙකුගේ අඩිපාරේම යමින් ක්‍රීඩාවට පිවිස, ඉන් සුවිසල් සාර්ථකත්වයක් අත්කරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා ඉතිහාසය තුළ අපට ඕනෑ තරම් හඳුනාගත හැක. මෙවන් අවස්ථාවන් පිළිබඳව බොහෝ දෙනෙකුගේ මතය වන්නේ එවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාන තුළම ක්‍රීඩාව අන්තර්ගත වී ඇති බවයි. 

මෙය වර්තමානයේ කෙතරම් ප්‍රචලිත සංසිද්ධියක් ද යත්, යම්කිසි ක්‍රීඩාවක දී කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ අයෙක් සිටිත් නම් ඔවුන්ගේ ක්‍රීඩාලෝලීන් ද ඇඟිලි ගනිමින් බලා සිටින්නේ ඔවුන්ගේ දරුවන් ද එම ක්‍රීඩාවට පිවිස සාර්ථකත්වයක් අත්කර ගන්නා තුරුය. 

ඒ අනුව රග්බි ක්‍රීඩාව තුළ ද මේ ආකාරයට ඉහළ දස්කම් දැක්වූ පිය-පුතු සබඳතාවන් රැසක් අපට දැකගත හැක. දකුණු අප්‍රිකාවේ Springboks ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කළ Schalk Burger Seniorගේ අඩිපාරේ යමින් ඔහුගේ පුත් Schalk Junior ද රග්බි ක්‍රීඩාවෙන් විශිෂ්ට දක්‍ෂතා දැක්වීම, ප්‍රංශ රග්බි ක්‍රීඩක Emile Ntamackගේ පුත් Romain Ntamack මේ වන විට එහි කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කරමින් සිටීම සහ නවසීලන්තයේ Kevin Barretගේ පුතුන් තිදෙනෙකු වන Beauden, Scott සහ Jordie Barrett වර්තමානයේ එරට All Blacks ජාතික රග්බි කණ්ඩායම වෙනුවෙන් ඉහළ දක්‍ෂතා දක්වමින් සිටීම ඊට කදිම නිදසුන් වේ.

කෙසේ නමුත් රග්බි ක්‍රීඩාවේ එවන් පෙරළිකාර පිය-පුතු සබඳතා අතරින් මේ වන විට ඉතා දැඩිව කතාබහට ලක්වන යුගලයක් ලෙස නවසීලන්තයේම Eroni Clarke සහ Caleb Clarke දෙදෙනා හඳුන්වා දිය හැක. 

Eroni Clarke යන නාමය මේ වන විට බොහෝ දුරට මැදිවියේ පසුවන 1990 දශකයේ අග භාගයේ දී නවසීලන්තයේ Super Rugby තරගාවලිය නැරඹූ ඕනෑම රග්බි ලෝලියෙකුගේ මතකයේ අනිවාර්යයෙන්ම සටහන්ව ඇති නාමයක් වනු ඇති බව නොඅනුමාන ය. 

එහි දී 1996 සහ 1997 වසරවල දී අඛණ්ඩව එම තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් සහ ඊට පසුව 1998 වසරේ දී එහි අනුශූරතාව දිනා ගනිමින් Auckland Blues කණ්ඩායම එම කාලවකවානුව තුළ සුපිරි දස්කම් ප්‍රදර්ශනය කරන්නට වූ අතර එහි දී කණ්ඩායම වෙනුවෙන් එක් එක් ක්‍රීඩකයින් තනිව දැක්වූ ඉහළ දක්‍ෂතා ඔවුන්ගේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වන්නට විය. ඒ අනුව එවන් තනි දක්‍ෂතා තුළින් කණ්ඩායමට අගනා දායකත්වයක් ලබා දුන් එක් ක්‍රීඩකයෙකු ලෙස Eroni හඳුන්වා දිය හැකිය.

Eroni Clarke
Eroni Clarke, Blues වෙනුවෙන් තරගයකට ක්‍රීඩා කරමින් (ඡායාරූපය: blues.rugby)

1969 වසරේ Samoa රාජ්‍යයේ දී උපත ලබන Eroni හට ඔහු යොවුන් අවදියේ දී ම නවසීලන්තය වෙත සංක්‍රමණය වීමට අවස්ථාව හිමි වේ. ඔහුගේ පියා ද Samoa ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කර තිබුනත්, නවසීලන්තය තුළ අවස්ථාවන් බහුල වීම හේතුවෙන් ඔහුට අවශ්‍ය වූයේ සිය දරුවන් එරට තුළ හැදී වැඩෙනු දැකීමයි. ඒ අනුව නවසීලන්තය තුළ රග්බි ක්‍රීඩාවේ නියැලෙන Eroni ඉතා ඉක්මනින් ඔහුගේ දක්‍ෂතා තුළින් එරට Auckland රග්බි කණ්ඩායම තුළ සිය ස්ථානය තහවුරු කරගන්නට සමත් විය. 

1992 සිට 2002 දක්වා වසර 11ක කාලයක් පුරාවට ඔහු තරග 150ක දී Auckland රග්බි කණ්ඩායම නියෝජනය කරන්නේ එම රග්බි සමාජ ඉතිහාසය තුළ 5 වැනි වැඩිම තරග සංඛ්‍යාවකට සහභාගී වූ ක්‍රීඩකයා බවට ද පත්වෙමිනි. එමෙන්ම ඔවුන් වෙනුවෙන් උත්සාහක දිනුම් 73කට හිමිකම් කියන ඔහු ඔවුන්ගේ ඉතිහාසය තුළ සිව්වැනි වැඩිම උත්සාහක දිනුම් ලාභියා ලෙස ද සිය නාමය සටහන් කරගෙන ඇති අතර තවදුරටත් අවස්ථා කිහිපයක දීම ඔහුට කණ්ඩායමේ නායකත්වය දැරීමට ද අවස්ථාව හිමිව ඇත. 

එහි දී 1996 සිට 2000 දක්වා Super Rugby තරගාවලියේ දී Auckland Blues කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ඔහු ඔවුන් වෙනුවෙන් සමස්ත තරග 48ක දී වාර්තා කරගෙන ඇති මුළු ලකුණු ගණන 70කි. ඒ අනුව එහි දී විශේෂයෙන් පසුපෙළ ක්‍රීඩා කරමින් අඛණ්ඩව පෙරළිකාර දක්‍ෂතා දැක්වූ ඔහු පන්දුව රැගෙන විශිෂ්ට ලෙස එය ඉදිරියට රැගෙන ගොස් උත්සාහක දිනුම් කලාපය වෙත පැනීම එකල Super Rugby ලෝලීන් හට දැකීමට ලැබුණු සුලබ දසුනකි. 

ඊට අමතරව 1992 සිට 1998 දක්වා වසර 6ක කාලය තුළ නවසීලන්තයේ All Blacks ජාතික රග්බි කණ්ඩායම ද නියෝජනය කළ ඔහු එහි දී තරග 10කට ක්‍රීඩා කරමින් සමස්ත ලකුණු 50කට හිමිකම් කියන්නට සමත් වුනේ ලැබුණු අවස්ථාවන් වලදී ජාතික කණ්ඩායම තුළ ද ඉහළ දක්‍ෂතා දක්වමිනි.

Eroni
Eroni නවසීලන්ත All Blacks කණ්ඩායම වෙනුවෙන් තරගයක් ක්‍රීඩා කරන අතරතුර (ඡායාරූපය: resources.stuff.co.nz)

සිය රග්බි ක්‍රීඩා දිවියට සමුදීමෙන් අනතුරුව ඔහු මේ වන විට එරට රග්බි පාලක ආයතනය වන New Zealand Rugby තුළ අලුතින් ස්ථාපනය කළ Pacifika බැඳීම් කළමනාකරු ධුරයේ කටයුතු කරමින් සිටියි. 

කෙසේ නමුත් Eroni සහ Caleb අතර පිය-පුතු සම්බන්ධතාවය මෑතක දී බොහෝ සෙයින් කතාබහට ලක්වන්නට ආරම්භ වන්නේ පසුගිය දා අවසන් වූ 2020 Super Rugby Aotearoa තරගාවලිය තුළ දී ය. ඒ එම තරගාවලියේ පළමු වටයේ තරගයක දී Blues කණ්ඩායම වෙනුවෙන් Caleb විසින් ඉතා විශිෂ්ට උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමත් සමඟයි. 

1999 වසරේ Auckland නුවර දී උපත ලබන Caleb කුඩා කළ සිටම සිය පියාගේ ආභාසයෙන් රග්බි ක්‍රීඩාවේ දී කැපී පෙනෙන දස්කම් දක්වන්නට සමත් විය. ඒ අනුව Mount Albert Grammar පාසලේ පළමු පෙළ රග්බි කණ්ඩායම වෙනුවෙන් ඔහු දක්වන දක්‍ෂතා හරහා ඔහුට කෙමෙන් කෙමෙන් Blues කනිෂ්ඨ කණ්ඩායම්වල ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වේ. 

එමෙන්ම නවසීලන්ත වයස අවුරුදු 20න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් 2017 කනිෂ්ඨ රග්බි ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ඔහු එහි දී කණ්ඩායම එම ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ දී ඔවුන්ට සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ලැබීය. අනතුරුව 2018 වසරේ දී ද එම තරගාවලියට සහභාගී වෙමින් ඔහු තවදුරටත් ඉහළ දක්‍ෂතා දක්වන්නට සමත් විය.

Caleb Clarke
Caleb Clarke, Blues වෙනුවෙන් තරගයකට ක්‍රීඩා කරමින් (ඡායාරූපය: nzherald.co.nz)

Wing ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු පළමු වරට 2017 වසරේ දී Auckland කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට වරම් ලබන අතර මේ වන විට ඔවුන් වෙනුවෙන් තරග 20කට ක්‍රීඩා කරමින් ලකුණු 35ක් වාර්තා කරගන්නට ඔහු සමත්ව ඇත. තවදුරටත් 2018 වසරේ සිට මේ දක්වා Blues කණ්ඩායම නියෝජනය කරමින් තරග 18කට සහභාගී වෙමින් ඔහු වාර්තා කරගෙන සිටින සමස්ත ලකුණු සංඛ්‍යාව 30කි. මෙහි දී ඔහුගේ දක්‍ෂතාවන් විශේෂයෙන් මෙවර Super Rugby Aotearoa තරගාවලියේ දී ක්‍රීඩාලෝලීන්ට දැකබලා ගැනීමට අවස්ථාව හිමි විය. 

ස්වභාවයෙන්ම දැවැන්ත ශරීරයකට හිමිකම් කියන Caleb ඉතා ශක්තිමත් මෙන්ම වේගවත් ක්‍රීඩකයෙකු ලෙස මේ වන විටත් ඔහුගේ නම ස්ථාපනය කරගනිමින් සිටියි. නමුත් ක්‍රීඩා පිටිය තුළ ඔහු දක්වන නිර්මාණශීලීත්වය වැඩිදියුණු කරගනිමින් ඔහුගේ පියා Eroni ක්‍රීඩා කළ ආකාරයටම Center ස්ථානයේ ක්‍රීඩා කිරීමට ඔහු ක්‍රමයෙන් ඉදිරියට පැමිණෙනු ඇත්දැයි දැකගැනීමට අපට අනාගතයේ දී අවස්ථාව හිමිවනු ඇත.

Caleb Clarke
Caleb ඔහුගේ පියා Eroni සහ ඔහුගේ සීයා Lafeta Clarke සමඟ (ඡායාරූපය: facebook.com/suburbsrugby/)

රග්බි ක්‍රීඩා කිරීමේ දී තම පියාගෙන් ලැබෙන සහයෝගය සහ පෙලඹවීම පිළිබඳව පසුගිය දා නවසීලන්තයේ Sky Sports මාධ්‍ය ජාලය සමඟ අදහස් දක්වමින් Caleb පවසා සිටියේ;

“මට මතකයි මගේ ප්‍රාථමික පාසලේ පුස්තකාලයේ තිබ්බා All Blacks පොතක්. ඒ පොත ඇරලා බැලුවම මම දැක්කා ඒකේ තාත්තා ඉන්නවා. ඒක ඇත්තටම මට හරිම පුදුම සහගත සිදුවීමක්. මට ඒක හිතාගන්නවත් බැරි වුනා.

මගේ තාත්තා හිටපු All Blacks ක්‍රීඩකයෙක් කියන එක ග්‍රහණය කරගන්න මට ටිකක් කල් ගියා. ඒත් කවදාවත් ඒකෙන් මම මට පීඩනයක් දාගත්තේ නැහැ. මොකද තාත්තා උනත් කවදාවත් ඒ පීඩනය මට දුන්නේ නැහැ. ඒත් මම Auckland කණ්ඩායමට ක්‍රීඩා කරන්න ගියාම එතැන පඩිපෙළෙන් උඩට නැග්ගාම දැක්කා බිත්තියේ පුවරු කිහිපයක් ගහලා තියෙනවා. ඒ ඔවුන්ගේ ඉතිහාසේ වැඩිම තරග ගාණකට සහභාගී වුන ක්‍රීඩකයින්, වැඩිම උත්සාහක දිනුම් ලාභීන් සහ වැඩිම ලකුණු ලාභීන්ගේ නම් ගහලා තිබ්බේ. ඒ හැම එකකම මගේ තාත්තාගේ නම තිබ්බා. Blues වලට ගියාමත් පුවරුවක සටහන් වෙලා තිබ්බා තාත්තා එක අවුරුද්දක ඒ අවුරුද්දේ හොඳම ක්‍රීඩකයා විදිහට සම්මාන දිනපු එක. 

ඉතින් ඒවා දැක්කම මට ලොකු ආඩම්බරයක් ඇති වුනා. මම හිතනවා මං ළඟ තියෙන තරගකාරීත්වය එන්නෙත් ඒවා නිසා කියලා. මටත් ඒ වගේ දක්‍ෂතා දක්වන්න ඕනේ, මටත් එතැනට යන්න ඕනේ, මගේ නමත් මේ පුවරුවල තාත්තාගේ නම එක්ක සටහන් කරගන්න ඕනේ කියන ඒ පෙලඹවීම මං ළඟ තියෙනවා.

මායි තාත්තායි අතර තියෙන කිට්ටු සම්බන්ධතාවය මම ගොඩක් විඳිනවා. මොකද ඒක සාමාන්‍ය පිය-පුතු සම්බන්ධතාවයක් විතරක් නෙමෙයි. ඒක ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් අතරත් තියෙන සම්බන්ධතාවක්.”

තවත් කියවන්න;

එහි දී Eroni ද Caleb පිළිබඳව ඔහුගේ අදහස් පළකර සිටින්නට විය. 

“මම All Blacks වෙනුවෙන් ක්‍රීඩා කරපු එක අපි කවදාවත් අපේ ළමයින්ට ලොකු දෙයක් කළේ නැහැ. ඒ පීඩනය ඔවුන්ට දෙන්න අපිට ඕනකමක් තිබුණේ නැහැ. 

Caleb වගේම අපේ අනිත් ළමයි ගැනත් අපි ඉන්නේ ගොඩක් ලොකු ආඩම්බරයකින්. මොකද මේ වෙනකොට ඔවුන් ඔවුන්ගේ උපරිම දක්‍ෂතාවලට ළඟා වෙමින් ඉන්නේ. මාව අනුගමනය කරලා මම දක්වපු දක්‍ෂතා අභිබවලා යන එක ගැන Caleb එක්ක නිකන් වාඩි වෙලා නිදහසේ කතා කර කර ඉන්නකොටත් මම හැමවෙලේම කියන්නේ මං කොහොමවත් එයාගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. තාත්තා කෙනෙක් විදිහට Caleb ගැන මට තියෙන එකම බලාපොරොත්තුව තමයි ක්‍රීඩා කරනකොට තමන්ගේ උපරිමයෙන්ම ක්‍රීඩා කරන්න ඕනේ කියන එක විතරයි.”

Caleb තවමත් අවුරුදු 21ක තරුණයෙක් වුවත් ඔහු මේ වන විටත් රග්බි පිටිය තුළ පෙරළිකාර දස්කම් දක්වන්නට සමත්ව ඇත්තේ නුදුරු අනාගතයේ දීම ඔහු සිය උපරිම දක්‍ෂතා කරා ළඟා වනු ඇති බවට පෙරනිමිති පහළ කරමිනි. 

මෙම දක්‍ෂතා හරහා පසුගිය දා නම්කෙරුණු ක්‍රීඩකයින් 35 දෙනෙකුගෙන් සමන්විත All Blacks ජාතික සංචිතයට ද ඔහුගේ නම ඇතුළත්ව තිබුණි. ඒ අනුව තමාගේ පියාගේ අඩිපාරේ යමින් ඉදිරියේ දී ඔහු රග්බි ක්‍රීඩාවේ ප්‍රබලයින් අතරට එක්වනු ඇති බවට මේ වන විටත් මත පහළ වී ඇති අතර එය සිදු වන තෙක් Blues සහ නවසීලන්ත රග්බි ලෝලීන් දැඩි බලාපොරොත්තු සහිතව බලා සිටිනු ඇති බව නම් නොඅනුමාන ය. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<