පවුම් පනහක් නිසා ඇරඹුණු සිලෝන් රග්බි

98

ආසියානු උප මහද්වීපයේ විශිෂ්ටතම රග්බි කණ්ඩායම වන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ආරම්භයත් ඉතාම රසවත්. 1900 දශකයේ ආරම්භයේ දී මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිත රාජ්‍යයක් වුණු ශ්‍රී ලංකාව, එවකට සිලෝන් නමින් හැඳින්වුණා (Ceylon). තේ, කෝපි මෙන්ම විවිධ ක්‍රීඩාවන් ද රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත ජාතිකයින් ශ්‍රී ලංකාව තුල සිය ආගම මෙන්ම ක්‍රීඩාවන් ද ව්‍යාප්ත කළා.

ඇමරිකානු රග්බි බංකොලොත් වෙයි?

මේ දිනවල ගෝලීය වසංගතයක් ලෙස පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වයිරසය නිසාවෙන් ලොව පුරා ක්‍රීඩා තරග…

වතු අධිකාරිවරුන්, වතු නිලධාරීන්, යුධ සෙබළුන් හා විවිධ සුදු නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණියේ ඔවුන්ගේ ප්‍රධානතම වගාවන් වුණු තේ, කෝපි හා කුරුඳු වගාවටත්, රාජ්‍ය පාලනයටත්ය. ඔවුන් ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාව හා රග්බි ක්‍රීඩාව හඳුන්වා දුන්නත් මුල් කාලයේ දී එම ක්‍රීඩා දෙකම ක්‍රීඩා කරන්නට අවසර ලැබුණේ ඔවුන්ට පමණයි.

කල්ගත වෙද්දී ශ්‍රී ලංකාවේ පළමු රග්බි ක්‍රීඩා සමාජය බිහිවුණේ කොළඹ මූලික කරගෙනයි. කොළඹ පාපන්දු සමාජය කේන්ද්‍ර කරගෙන ශ්‍රී ලංකාවේ පළමු රග්බි තරගය ක්‍රියාත්මක වුනා. පසුව මෙම ක්‍රීඩා සමාජය කොළඹ පාපන්දු හා හොකී ක්‍රීඩා සමාජය ලෙස හැඳින්වුණා.

කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය හා ලෝක ඒකාබද්ධ කණ්ඩායමක් කොළඹ දී තරග වැදුණේ 1879 වසරේ දීයි. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් බොහොමයක් රාජ්‍ය සේවකයින්, වතු නිලධාරීන් හා වෙනත් පෞද්ගලික අංශවල නිලධාරීන් වීම විශේෂත්වයක්.

එවකට ශ්‍රී ලංකාව පෙරදිග නැව් මාර්ගයේ ප්‍රධාන සංධිස්ථානයක්ව පැවතිනි. ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ සිට යුරෝපයට නැව් මාර්ගය වැටී තිබුණේ ශ්‍රී ලංකාව හරහායි. ඒ නිසාම ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ සිට ගමන් කළ නැව් බොහොමයක් ශ්‍රී ලංකාවට පැමිණ ගමනට අවශ්‍ය සැපයුම් රැගෙන යළි පිටත් වීම  පුරුද්දක් කරගෙන තිබුණි. යුරෝපයේ රග්බි ක්‍රීඩා කරන්නට යන නවසීලන්ත හා ඕස්ට්‍රේලියානු රග්බි කණ්ඩායම් ශ්‍රී ලංකාවට නිතර පැමිණ ගියත් ඔවුන් මෙරට දී තරගයක් ක්‍රීඩා නොකිරීම මෙරට රග්බි ප්‍රේක්ෂකයින්ට දැඩි කනස්සල්ලක් වුනා.

The Times of Ceylon පුවත්පත එවකට වතු අධිකාරීවරුන් හා යුරෝපීය ජාතිකයින් අතර ඉතා ජනප්‍රිය පුවත්පතක්. The Times of Ceylon පුවත්පතේ ප්‍රධාන කතුවරයෙක් ලෙස කටයුතු කළ හර්බට් එච් කැපර් එවකට ප්‍රබල රග්බි ප්‍රේක්ෂකයෙක්.

විවිධ රග්බි කණ්ඩායම් දිවයිනට පැමිණ ආපසු පිටත්ව යනවා ඔහු බලා සිටියේ ඉතා කනගාටුවෙන්. 1907 වසරට පෙර එලෙස නවසිලන්ත රග්බි කණ්ඩායමක් දිවයිනට පැමිණ නැවත එංගලන්තයට පිටත්ව යනවා කැපර් බලා සිටියා. නමුත් 1907 වසරේ දී තවත් නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාව හරහා එංගලන්තයට යන බව දැන ගත් ඔහු ක්ෂණිකව ක්‍රියාත්මක වුනේ කෙසේ හෝ ශ්‍රී ලංකාවේ දී තරගයක් දැක බලා ගැනීමේ අරමුණින්. The All Golds ලෙස විරුදාවලිය ලත් සුප්‍රකට නවසීලන්ත වෘත්තීයමය රග්බි කණ්ඩායමට ඔහු කේබල් පණිවිඩයක් යැවූයේ මෙරට දී තරගයක් ක්‍රීඩා කරන්නට ආරාධනා කරමින්.

ක්ලිෆර්ඩ් කුසලානයටත් බාලගිරි!

COVID -19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් 2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ …

කේබල් පණිවිඩ කිහිපයක හෙට්ටුවකින් පසුව පවුම් පනහක දීමනාවක් මත ශ්‍රී ලංකාවේ දී තරගයක් ක්‍රීඩා කරන්නට ඔවුන් කැමැත්ත පළ කළේ කැපර්ගේ උත්සාහයන් මල් ඵල ගන්වමිනුයි.

නවසිලන්ත ඕල් ගෝල්ඩ්ස් කණ්ඩායමට මුහුණ දීමේ අරමුණින් මහනුවර, කොළඹ ක්‍රීඩා සමාජය, දිඹුල, දික් ඔය යන ක්‍රීඩා සමාජය එක්ව All-Ceylon කණ්ඩායම ගොඩ නැගුවා. All-Ceylon කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් සුදු ජාතිකයින් වීම විශේෂත්වයක්. එවකට දේශීය ක්‍රීඩකයින්ට රග්බි ක්‍රීඩා කිරීමට වරමක් තිබුණේ නැහැ.

1907 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා සවස කොළඹ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය වූ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර රග්බි ගැටුම පැවැත්වුණා. ප්‍රේක්ෂකයින් 4,000ක් පමණ මේ තරගය නැරඹීම සඳහා පැමිණ සිටි අතර All-Ceylon කණ්ඩායමේ නායකයා වුනේ කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජයේ ඒ. එෆ්. වෙස්ට් මහතායි.

All-Ceylon කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ද ප්‍රීති ඝෝෂා මැදින් පිටියට පිවිසුණු නවසිලන්ත කණ්ඩායම ලකුණු 33-06ක් ලෙස තරගය ජය ගත්තේ පරාජය වුනත් උණුසුම් මතකයන් රැසක් දේශීය ප්‍රේක්ෂකයින්ගේ සිතේ ඉතිරි කරමින්.

අමරණීය ඕස්ට්‍රේලියානු ජාතික රග්බි ක්‍රීඩකයෙකු වන Dally Messenger ද නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරමින් මේ තරගය ක්‍රීඩා කිරීම විශේෂත්වයක්. ඔහු නවසීලන්තය රැස් කළ ලකුණු 33න් ලකුණු 18කටම වග කියන්නට සමත් වීම විශේෂත්වයක් වුනා.

ඔහු දේශීය පුවත්පත් රැසකම ප්‍රධාන සිරස්තලය බවට පත් වුණු අතරMessenger පසුපෙළ ක්‍රීඩකයින්ගේ අලංකාර ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළා, ඒ මතකය, ඔහු ක්‍රීඩා කරනවා දුටු සියල්ලන්ගේම සිතේ රැඳේවී, කිසිසේත් ආත්මාර්ථකාමී නොවුණු ඔහුගේ ක්‍රීඩා විලාසය හරිම විශිෂ්ටයි.” පුවත්පත් එසේ සටහන් කර තිබුණා.

කෙසේ වෙතත් වෘත්තීය රග්බි කණ්ඩායමක් වුණු නවසීලන්ත රග්බි කණ්ඩායම සිලෝන් කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීම පිළිබඳව ලෝක රග්බි ආයතනය එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ එවකට ශ්‍රී ලංකාව ලෝක රග්බි ආයතනයේ ලියා පදිංචි නොවී සිටි නිසයි.

එවකට ශ්‍රී ලංකාවට රග්බි පාපන්දු සංගමයක් තිබුණේ ද නැත. ශ්‍රී ලංකාව රග්බි ක්‍රීඩාවට ආධුනික රටක් වීම මේ තත්වය උත්සන්න කරන්නට තවත් බලපෑවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝක රග්බි මව් සංගමය විසින් ශ්‍රී ලංකාව සමඟ ක්‍රීඩා කිරීම අනෙක් සාමාජික රටවල් වලට තහනම් කරන්නට තීරණය කළා.

නවසීලන්ත ක්‍රීඩකයින් මුදල ලබා ගෙන ක්‍රීඩා කිරීමත් මේ ප්‍රශ්නය දෙගුණ තෙගුණ කරන්නට හේතු වුනා. මෙහි ප්‍රධානතම බලපෑම වුනේ 1908 වසරේ ඔක්තෝබර් 08 වැනිදා ඕස්ට්‍රේලියානු රග්බි කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියත් ඔවුන් සමඟ සැලසුම් කර තිබුණු තරගය පැවැත්වීමට All-Ceylon කණ්ඩායමට නොහැකි වීමයි.

ඒ අනුව ඕස්ට්‍රේලියානු වොලබීස් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ තරගයක් නොමැතිවම දිවයින්ගෙන් පිටව යනවා දුකෙන් බලා සිටීමට ශ්‍රී ලංකා රග්බි රසිකයින්ට සිදු වුනා.

ඉඳහිට පැමිණි කණ්ඩායමක් සමඟවත් ක්‍රීඩා කිරීමට නොහැකි වීම ශ්‍රී ලංකා රග්බි පාපන්දු ක්‍රීඩකයින්ට මෙන්ම රසිකයින්ට ද ලොකු ගැටලුවක් වුනා. ඒ නිසාම කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ දී රැස්වුණු ශ්‍රී ලංකා රග්බි ප්‍රජාව සිලෝන් රග්බි පාපන්දු සංගමය පිහිටුවා ගත්තා. වතු අධිකාරිවරුන් වුණු H.B.T. Boucher මහතා පළමු සභාපති බට තේරීපත් වුණු අතර J.G. Cruickshank මහතා පළමු ලේකම් ලෙසත් තේරීපත් වුනා.

එසේ ඇරඹුණු සිලෝන් රග්බි පාපන්දු සංගමය අද ශ්‍රී ලංකා රග්බි දක්වා විකාශය වුනා. කෙමෙන් කෙමෙන් සුද්දන්ට උරුම වුණු රග්බි ක්‍රීඩාව අපිටත් ක්‍රීඩා කරන්නට වරම් හිමි වුනා. පවුම් පනහ නිසා වෙච්ච දේ!!

මූලාශ්‍ර – නීල් විජේරත්නගේ ලක්බිම වාර්තාව – 1996-02-04, Charles Littleගේ Despicable and degrading’: Australian–Ceylonese sporting relations වාර්තාව, නීල් විජේරත්නගේ A RUCK IN TIME, RUGBY THROUGH THE YEARS වාර්තාව හා Wikipedia හි The_Times_of_Ceylon ඇසුරින්

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<