අප්‍රිකානු නායකයාගේ උපන් දිනයට ලක්මාල්ගෙන් රිදෙන තෑග්ගක්

1335

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (13) අවසානයේ දී දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 111ක් ලබා සිටිති.

දිනය අවසන් වෙද්දී ඇන්ජලෝ මැතිව්ස් පන්දු 48කට මුහුණ දෙමින් ලකුණු 14ක් ද, රොෂේන් සිල්වා පන්දු 14ක දී ලකුණු 10ක් ද ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටිති. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ වෙද්දී සංචාරක ක්‍රීඩකයන්ට වඩා ලකුණු 227ක් ඉදිරියෙන් සිටී.

දිමුත් ශ්‍රී ලංකාවේ ගැලවුම්කරු වෙයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය (12) අවසානයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලබා ගත්…

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 287ක් රැස් කළ අතර සංචාරක ක්‍රීඩකයන්ට පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 126ක් පමණි.

දකුණු අප්‍රිකානු නායකයාට අද ගජරාමෙට සමරන්නට තිබූ උපන් දිනය ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් විසින් විනාශ කර දැම්මේ කරුණු දෙකක් මත ඔහුව අසරණ කරමිනි. ලක්මාල් පළමුවෙන්ම ඔහුව අසරණ කළේ ලකුණු 49ක් තිබිය දී ඔහුව දවා ගනිමිනි. දෙවැනි කරුණ වූයේ දකුණු අප්‍රිකානුවන් විසින් රැස් කළ මෙම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාව ඉදිරියේ මෙරට දී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා පොත් අතරට එක් කරමිනි.  

මීට ප්‍රථම ඔවුන් 2006 වසරේ දී කොළඹ එස්. එස්. සී. පිටියේ දී රැස් කළ ලකුණු 169 අඩුම ලකුණු සංඛ්‍යාව සේ සටහන්ව තිබුණි.  

තරගයේ දෙවැනි දිනය උදා වූයේ දකුණු අප්‍රිකානු නායකයාගේ 34 වැනි උපන් දිනය ද සමඟිනි. තරගය පළමු දිනයට අවසන් වෙද්දී පිටියේ නොදැවී රැඳී සිටි ඩීන් එල්ගර් (04) සහ සැදෑ ආරක්ෂක පිතිකරු ලෙසින් පිටියට පිවිසි කේශව් මහරාජ් (00) අද පෙරවරුවේ දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ කළහ. ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් නැවත වතාවක් තමන්ට වඩා තම දඟපන්දු යවන්නන් කෙරෙහි විශ්වාසය තබමින් පන්දු යැවීම ඔවුන් වෙත බාර කළේය. දකුණු අප්‍රිකානු ඉනිමට යැවුණ පන්දුවාර 37න් 36ක් ම දඟපන්දු යවන්නන් උපයෝගී කර ගනිමින් යැවුණ අතර දිවා විවේකයට පෙර පන්දුවාරය සුරංග ලක්මාල් යැවුවේ ය.

දිනයේ යැවුණ තෙවැනි පන්දු වාරයේ දී කේශව් මහරාජ් (03) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට රංගන හේරත් සමත් විය. අනතුරුව ලකුණු පුවරුව 13ක් වෙද්දී ඩීන් එල්ගර් (08) දිල්රුවන් පෙරේරාට ගොදුරු විය. ඒ ඇන්ජලෝ විසින් රැක ගන්නා ලද උඩ පන්දුවක් හේතුවෙනි.

දෙවන ඉනිමෙන් වැඩ පෙන්වන හැඩකාර වමත් පිතිකරුවා

දකුණු අප්‍රිකාව වැනි විශිෂ්ට පන්දු යැවීමේ බලකායක් හමුවේ ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශතකයක් වාර්තා කිරීම පහසු වැඩක් නොවේ.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වඩාත් පරිණත පිතිකරු ලෙසින් නම් ලද හසීම් අම්ලා වෙත වැඩි වගකීමක් පැටවුණි ද, ඔහුට ද මේ විනාශකාරී දඟපන්දු යවන්නන්ගෙන් ගැලවීමක් නොවුණි. දිල්රුවන් පෙරේරාගේ පන්දුවකට ෂෝට් ලෙග් ස්ථානයේ සිටි කුසල් මෙන්ඩිස් රැකගත් උඩ පන්දුව ඔහුගේ ඉනිම නිමා කළේය. අම්ලා සේ ම පිටියේ විනිසුරුවන් ද මෙම උඩ පන්දුව රැක ගැනීම දෙගිඩියාවෙන් තැකූ අයුරකි දිස් වූයේ. කෙසේ වෙතත් විනිසුරු තීරණ විමසා බැලීමේ අවස්ථාවකට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම රැක ගැනීම සනාථ කර ගත්හ. අම්ලා තම කඩුල්ල අහිමි කර ගනිමින් ක්‍රීඩාංගණය වෙත පිය නගද්දී ලකුණු 15ක් ලබා සිටි අතර ඔහුට ලකුණු 9000 අහිමි වූයේ තවත් ලකුණු 3කිනි.

එම දැවී යෑමෙන් අනතුරුව නායක ෆෆ් ඩියු ප්ලේසිස් පිටියට පිවිසෙමින් ටෙම්බා බවුමා සමඟ එක්වූ අතර ඔවුන් දෙදෙනා අතර සබඳතාව හතරේ පහරකට පමණක් සීමා විය. ටෙම්බා බවුමා (17) ලක්ෂාන් සඳකැන් යැවූ  පන්දුවක් පාදයත් පිත්තත් පරාජය කරමින් කඩුල්ල සොයා යද්දී දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 48ක්ව තිබූ අතර අහිමි වූවේ 5 වැනි කඩුල්ලයි.

ලකුණු පුවරුවට තවත් ලකුණු 3ක් එක් වෙද්දී නායකයා සමඟින් එක්වූ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් (03) ගේ ඉනිම නිමා කිරීමට දිල්රුවන් පෙරේරා සමත් විය.

දිවා විවේකය සඳහා තරගය නතර කරන ෆෆ් ඩියු ප්ලේසිස් පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා ගනිමින් ද, වර්නන් පිලැන්ඩර් පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගනිමින් ද නොදැවී පිටියේ රැඳී සිටිති. ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු සබඳතාව 35කි.

දිවා විවේකයෙන් පසුව ද ඔවුන් දෙදෙනා වඩාත් ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වෙමින් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ඉහළ දැමීමට කටයුතු කළහ. ඔවුන් දෙදෙනාගේ ඒ ගමන ලකුණු 64කින් අවසන් කිරීමට දිල්රුවන් පෙරේරා සමත් විය. ඒ පිලැන්ඩර් ලකුණු 18කට දවා ගනිමිනි. පිලැන්ඩර් ඒ වෙනුවෙන් පන්දු 86කට මුහුණ දී සිටි අතර හතරේ පහරක් එම ඉනිමට ඇතුලත්ව තිබුණි. එය දකුණු අප්‍රිකා ඉනිමේ දැනට හොඳම ලකුණු සබඳතාව ද වන්නේ ය.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව අනෙක් පන්දුවාරයේ දී නායක ප්ලේසිස් ගේ ඉනිම හමාර කිරීමට ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් සමත් විය. අර්ධ ශතකයකට ලකුණක් මෙපිටින් සිටිද්දී කඩුල්ල බිඳ ගත් ප්ලේසිස් තම ඉනිමට මුහුණ දුන් පන්දු සංඛ්‍යාව හතරේ පහර 5ක් සමඟින් 88කි.

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරුව ඉතිරි කඩුලු 2 ලකුණු 11ක් තුළ නැවත ක්‍රීඩා විවේකාගාරයට යැවීමට සුරංග ලක්මාල් සමත් විය. ඔහු ඉනිම නිමා කළේ ලකුණු 21කට කඩුලු 3ක් දවා ගනිමිනි. මීට අමතරව දිල්රුවන් පෙරේරා ලකුණු 46කට කඩුලු 4ක් ද, රංගන හේරත් ලකුණු 39කට කඩුලු 2ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූහ. අනෙක් කඩුල්ලේ හිමිකාරිත්වය ලක්ෂාන් සඳකැන් සතු විය.

ලකුණු 161ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තේ විවේකය සඳහා තරගය නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 25ක් ලබා සිටියේය. ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙසින් ධනුෂ්ක ගුණතිලක නැවත වතාවක් පිතිකරුවෙක් ලෙසින් අසාර්ථක වෙමින් ලකුණු 17ක් ලබා සිටිය දී දැවී ගියේය. එවිට ලකුණු පුවරුව 51 රැඳී තිබුණි.

ඉන්දියාවට එරෙහි වන යොවුන් කණ්ඩායමේ බර නිපුන්ට

එළඹෙන 17 වැනිදා ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම…

කේශව් මහරාජ් විසින් යැවුණ 22 වැනි පන්දුවාරය ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ අවාසනාවන්ත පන්දුවාරය විය. එම පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී ධනංජය ද සිල්වා (09) දවා ගත් ඔහු 5 වැනි පන්දුවේ දී කුසල් මෙන්ඩිස්  (00) දවා ගත්තේ ය.

එම කඩුලු දෙක එක පිට දැවී යෑමත් සමඟින් නැවත වතාවක් කණ්ඩායමේ වගකීම කරට ගත් දිමුත් කරුණාරත්න දිනයේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යන තෙක් තම වගකීම ඉටු කිරීමට පෙරමුණ ගත්තේ ය. නමුත් තමන් මුහුණ දුන් 80 වැනි පන්දුවේ දී හසීම් අම්ලා අතට උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු තම ඉනිම නිමා කර ගත්තේ කගීසෝ රබාඩා විසින් එවන ලද පන්දුවකට ය. ඒ වෙද්දී ඔහු හතරේ පහර 7ක් සමඟින් ලකුණු 60ක් ලබා සිටියේ ය. දිමුත් අද තම ටෙස්ට් තරග දිවියේ 15 වැනි අර්ධ ශතකය 67 වැනි පන්දුවේ දී වාර්තා කළේය.

කඩුලු ලබා ගැනීමේ දී සුපිරි පන්දු යැවීමක නිරත වූයේ වමතින් දඟපන්දු යවන කේශව් මහරාජ් ය. ඔහු ලකුණු 37කට කඩුලු 3ක් දවා ගත්තේ ය. ඉතිරි කඩුල්ලේ හිමිකාරිත්වය කගීසෝ රබාඩා සතු විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය <<

හෙට (14) තරගයේ තෙවැනි දිනයයි.

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 287 (78.4): ධනුෂ්ක ගුණතිලක 26, දිමුත් කරුණාරත්න නොදැවී 158, කුසල් මෙන්ඩිස් 24, නිරෝෂණ දික්වැල්ල 18, ලක්ෂාන් සඳකැන් 25, කගීසෝ රබාඩා 4/50, තබ්‍රයිස් ශම්සි ලකුණු 3/91

දකුණු අප්‍රිකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 126 (54.3): ෆෆ් ඩියු ප්ලේසිස් 49, වර්නන් පිලැන්ඩර් 18, රංගන හේරත් 2/39, දිල්රුවන් පෙරේරා 4/46, සුරංග ලක්මාල් 3/21

ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 111 (37.0): ධනුෂ්ක ගුණතිලක 17, දිමුත් කරුණාරත්න 60, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 14, රොෂේන් සිල්වා නොදැවී 10, කේශව් මහරාජ් 3/37

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<