ත්‍රිත්ව කඳවුරේ දී ධර්මරාජයට දැවැන්ත ප්‍රහාරයක්

ත්‍රිත්ව විද්‍යාලයේ සුහද රග්බි තරගාවලිය 2021

598

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවති සුහද රග්බි තරගය ලකුණු 43-00ක් ලෙස ජයගන්නට සත්කාරක මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වුනා.

Trinity Tour රග්බි තරගාවලියේ දෙවැනි තරගය ලෙස මේ තරගය පැවැත්වුනේ මහනුවර පල්ලේකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දීයි.

පසුගිය සතියේ දී ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සමඟ තරග වැදුණු අතර එහි දී ඔවුන් ලකුණු 46-14ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුනා.

කණ්ඩායම් දෙකම තරගය ආරම්භයේ දී සුළු අතපසුවීම් කිහිපයක් සිදු කළ නමුත් 8 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට ත්‍රිත්ව පසුපෙළ ක්‍රීඩක මොරගොඩ සමත් වුනා.

ජයසුන්දර ගුවන්ගත කළ පන්දුවක් පසුපස හඹා ගිය මොරගොඩ ගෝල කණු අතරින්ම තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරද්දී, දොඩන්වත්ත අමතර ලකුණු එකතු කරන්නට සමත් වුනා. (ත්‍රිත්ව 07 – 00 ධර්මරාජ)

ඊට සුළු මොහොතකට පසුව ධර්මරාජ කණ්ඩායමට උත්සාහක දිනුමක් සඳහා අනගි අවස්ථාවක් හිමි වුවත්, එම අවස්ථාව තමන්ගේ වාසියට හරවා ගන්නට ත්‍රිත්ව ක්‍රීඩකයන් සමත් වුනා.

ධර්මරාජ ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර සිදු වුනු පන්දු හුවමාරුවක් මැදින් පන්දුව ලබා ගත් මොරගොඩ, පන්දුව ජයසුන්දරට ලබා දුන් අතර ඔහු ත්‍රිත්ව කණ්ඩායමේ දෙවැනි උත්සාහක දිනුම සම්පූර්ණ කළා. දොඩන්වත්ත නැවත වතාවක් එම උත්සාහක දිනුම ප්‍රවර්තනය කළා. (ත්‍රිත්ව 14 – 00 ධර්මරාජ)

කිහිපවතාවක්ම ධර්මරාජය උත්සාහක දිනුමක් වාර්තා කරන්නට ආසන්න වුනත්, ඔවුන්ගේම අතපසුවීම් නිසා එම අවස්ථා මඟ හැරී ගියා. මෙම කණ්ඩායම් දෙකම වසර දෙකකට පසුව තරගකාරී රග්බි තරගයක් ක්‍රීඩා කිරීම නිසා ක්‍රීඩකයින් බොහෝ අතපසුවීම් සිදු කිරීම කැපී පෙනුණා.

එවැනි අවස්ථාවක් ප්‍රයෝජනයට ගනිමින් 22 වැනි මිනිත්තුවේ දී සෞම්‍ය විජේසිරි මීටර 40ට ආසන්න දුරක සිට ධර්මරාජය වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කර ගන්නට උත්සාහ කළත්, එම උත්සාහය සාර්ථක වුනේ නැහැ.

පළමු අර්ධය: ත්‍රිත්ව විද්‍යාලය 14 – 00 ධර්මරාජ විද්‍යාලය

දෙවැනි අර්ධයේ දී ද ධර්මරාජ ක්‍රීඩකයින් ත්‍රිත්ව ආක්‍රමණයෙන් මිදෙන්නට ප්‍රබල උත්සාහයක නිරත වුනත්, ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වුනේ නැහැ. 39 වැනි මිනිත්තුවේ දී ත්‍රිත්ව ඉදිරි පෙළ ලකුණු පුවරුවට ලකුණු එකතු කරන්නට සමත් වුනා.

Line Out අවස්ථාවකින් ලබා ගත් පන්දුවක් බවන්ත ධර්මපාල ධවල රේඛාවෙන් එපිටට රැගෙන ගියා. එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නට නම් දොඩන්වත්ත සමත් වුනේ නැහැ. (ත්‍රිත්ව 19 – 00 ධර්මරාජ)

48 වැනි මිනිත්තුවේ දී ත්‍රිත්ව කණ්ඩායම තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ පසුපෙළ සහ ඉදිරිපෙළ ක්‍රීඩකයින් දෙපාර්ශවයේම සහයෙනුයි.

Line Out අවස්ථාවකින් පන්දුව ලබා ගත් ත්‍රිත්ව ඉදිරිපෙළ, ධර්මරාජ ප්‍රතිරෝධය මර්දනය කරමින් පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර පන්දුව භාරගත් පසුපෙළ අලංකාර පන්දු හුවමාරු කිරීම් කිහිපයකට පසු මොරගොඩගේ සුරතින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළා. රවිඳු වික්‍රමසිංහ අමතර ලකුණු එකතු කළා. (ත්‍රිත්ව 26 – 00 ධර්මරාජ)

තරගය නිමාවට පෙර තවත් උත්සාහක දිනුම් දෙකක් ලකුණු පුවරුවට එකතු කරන්නට ත්‍රිත්ව විද්‍යාලය සමත් වුනා. කවීෂ ඉන් එක් උත්සාහක දිනුමක් තමන්ගේ නමට ලියා ගනිද්දී, රවිඳු වික්‍රමසිංහ සහ දොඩන්වත්ත අමතර ලකුණු එකතු කළා. (ත්‍රිත්ව 40-00 ධර්මරාජ)

කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් දෙදෙනෙකුට කහ කාඩ්පත් ලැබුණේ දිගින් දිගටම කළ අතපසුවීම් නිසයි. තරගය නිමාවට පෙර 69 වැනි මිනිත්තුවේ දී තවත් ලකුණු තුනක් ලකුණු පුවරුවට එකතු කරන්නට ජයසුන්දර සමත් වුනා. ඒ අවසන් මොහොතේ හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කරගනිමිනුයි.

අවසන් ලකුණු තත්වය: ත්‍රිත්ව විද්‍යාලය 43 (6T, 5C, 1P) – 00 ධර්මරාජ විද්‍යාලය

උත්සාහක දිනුම් රැස් කළ ක්‍රීඩකයන්:

ත්‍රිත්ව විද්‍යාලය – මොරගොඩ (2T), ජයසුන්දර (1T, 1C), දොඩන්වත්ත (3C), ධර්මපාල (1T), රවිඳු වික්‍රමසිංහ (2C), කවීෂ (1T).

ත්‍රිත්ව කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමඟින් පැවැත්වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<