Wadeගේ බාධා කිරීම Buttler අත්හැර දමයි

එංගලන්තය - ඕස්ට්‍රේලියාව විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය

8609

ඊයේ දිනයේ (09) ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති විස්සයි විස්ස තරගයෙන් ලකුණු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් අනතුරුව  එංගලන්ත නායක Jos Buttler පවසා සිටියේ, එය විස්සයි විස්ස ලෝක කුසලානයේ තරගයක් වුනා නම් තමන් Matthew Wadeව පන්දු රැකීමට බාධා කිරීම යටතේ (obstructing the field) දවා ගැනීමට විනිසුරුගෙන් ඉල්ලීම් කරන බවයි.

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ඕස්ට්‍රේලියාවේ පර්ත් හිදී පැවති මෙම විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ 17 වැනි පන්දුවාරය යවමින් සිටි Mark Woodගේ පන්දුවකට Wade විසින් එල්ල කර පුල් (pull) පහරකින් පන්දුව පිත්තේ ඉහළ දාරයේ වැදී, ඔහුගේ හිස් ආවරණයේ දී ද වදිමින් ඉහළ අහසට ඇදී ගිය අතර, එය උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට පන්දු යවන්නා විසින් දිව ආවා.

ඒ අවස්ථාවේ දී තම වම් අත Wood වෙත දිගු කරමින් Wade විසින් පන්දුව රැක ගැනීමට බාධා වන ලෙස හැසිරෙන ආකාරය දැක ගත හැකි වුනා.

කෙසේ වෙතත් එම සිදු වීම සම්බන්ධයෙන් පිතිකරු දවා ගැනීමට විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් (appeal) එංගලන්ත පාර්ශවයෙන් ඉදිරිපත් නොවුනු අතර, Matthew Wade ද පසුව තරගයේ ජයග්‍රහණය ද ඕස්ට්‍රේලියාවට අහිමි කර ගනිමින් දැවී ගියා.

එම අවස්ථාවේ දී ඕස්ට්‍රේලියාවට පන්දු 23කින් ලකුණු 39ක් ලබා ගැනීමට ඉතිරිව තිබූ අතර, දෙපිළටම විවෘතව තිබූ තරගය පසුව ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඈත් කිරීමට එංගලන්ත පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම සමත් වුනා.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වූ එංගලන්ත නායක Jos Buttler ඇමතූ මාධ්‍යවේදීන් එම සිදුවීම සම්බන්ධයෙන් විමසා සිටියේ, එය ලෝක කුසලානයේ තරගයක් වී නම් විනිසුරුගෙන් ඉල්ලීම් කරනවා ද?, යනුවෙන්.

එහි දී Buttler, “සමහර විට” යනුවෙන් සිය ප්‍රතිචාරය ලබා දී තිබුණා.

තවදුරටත් ඒ පිළිබඳ සිය අදහස් දැක්වූ Buttler පවසා සිටියේ, එම මොහොතේ සිදු වූයේ කුමක්ද යන වග තමන් හරියටම නොදැන සිටි බවයි.

“ඔවුන් ඇහුවා මම appeal කරනවා ද කියලා, මම කිව්වා ‘නැහැ’ කියලා. මම ඕස්ට්‍රේලියාවට ආවා විතරයි තවම, ඒ නිසා මම හිතුවා තරගය දිගටම පවත්වා ගෙන යන්න. ඒක අසීරු දෙයක්, මොකද මම දන්නේ නැහැ මම මොකට විරුද්ධව ද appeal කරන්නේ කියලවත්, ඒ සිදු වීම හරියට දැකපු අය ඉන්නවා ද කියලා මට අපේ අනිත් ක්‍රීඩකයින්ගෙන් ඒ ගැන අහන්න පුළුවන්කම තිබුණා. ඒත් මම හිතුවා තරගය ගිය විදිහටම ඉදිරියට පවත්වා ගෙන යාම සුදුසුයි කියලා. සමහර විට මම අනෙක් අයගෙනුත් ඒ ගැන ඇසිය යුතුව තිබුණා කියලා දැන් හිතෙනවා.”

එසේ එම සිදුවීම පිළිබඳ සිය අදහස් දැක්වූ Buttler, Mark Woodගේ විශිෂ්ට පන්දුකරණය ගැන ද ප්‍රශංසාවෙන් යුතුව කතා කළා. David Warner සහ Marcus Stoinis විසින් පන්දුවාර හතරක දී ලකුණු 53ක් එක් කරමින් දියත් කළ තර්ජනාත්මක පිතිකරණයට බාධා පමුණුවමින් Wood යැවූ වේගවත් කෙටි පන්දු හමුවේ, David Warner, Marcus Stoinis සහ පසුව පිටියට පිවිසි Tim David යන තිදෙනාවම දැවී ගියා.

“නැවත පැමිණ පිතිකරුවන්ව බිය ගන්වමින්, වේගයෙන් පන්දු යැවීමේ හැකියාව ඔහුට තිබුණා. ඔහු නියම චරිතයක් ගොඩනගා ගත් ක්‍රීඩකයෙක්,” යනුවෙන් Buttler විසින් Woodගේ පන්දු යැවීම ගැන සිය අදහස් පළ කර සිටියා.

ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් මෙවැනි උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<