පාපන්දු නිලවරණයට දින තීන්දුයි

285
Sri Lanka Football election on 16th September

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය එළඹෙන සැප්තැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

2022 දෙසැම්බර් 13 වැනිදාට පෙර රෙගුලාසි යටතේ ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අනුමැතිය ලබා දී තිබුණා. 2026 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා ශ්‍රී ලංකාවට සහභාගී වීමට අවස්ථාව සලසා දෙමින් මෙලෙස නිලවරණය පැවැත්වීම සඳහා තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සහ FIFA හි අධීක්ෂණය යටතේ මෙවර නිලවරණය පැවැත්වීමට නියමිතයි.

ඉකුත් ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කිරීමට FIFA කටයුතු කර තිබුණා. ඊට හේතු ලෙස වාර්තා කර තිබුණේ තෙවැනි පාර්ශවයන්ගේ මැදිහත් වීම් යටතේ නියමිත සැලැස්මට අනුකූලව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු නොකිරීම සහ පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් ලැබුණු චෝදනා සැලකිල්ලට ගනිමිනුයි.

කෙසේ නමුත් 2026 පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමට FIFA සහ AFC විසින් තීරණය කර තිබුණේ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග පැවැත්වීමට නියමිත ඔක්තෝබර් 12 සහ 17 දිනවලට අවම වශයෙන් දින දහයකට පෙර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමේ කොන්දේසිය මතයි.

දේශීය පාපන්දු පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<