විද්‍යාරත්න, රාජකීය සහ ලුම්බිණි විද්‍යාලවලට ශූරතාවය

736

ඊයේ අවසන් වූ බ්ලූ, ගෝල්ඩ් ඇන්ඩ් බ්ලූ වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ බාලක ශූරතාවය දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල ද, 18න් පහළ හා 16න් පහළ ශූරතා දිනා ගැනීමට විද්‍යාරත්න විදුහල් කණ්ඩායම් ද සමත් විය.

ආසියානු පාසල් වොලිබෝල් ශූරතාවලියේ පුහුණුවීම් සඳහා ක්‍රීඩකයින් 25ක්

ආසියානු පාසල් වොලිබෝල් ශූරතාවලියට සමගාමීව, ඉරානයේ ඉෆ්සහන් හී පැවැත්වීමට නියමිත පුහුණු සැසියක් සඳහා ක්‍රීඩකයින් 25කගෙන් ..

11 වන වරට පවත්වනු ලැබූ බ්ලූ, ගෝල්ඩ් ඇන්ඩ් බ්ලූ බස්නාහිර පළාත් ආරාධිත පාසල් වොලිබෝල් ශූරතා තරගාවලිය පසුගිය දින දෙක තුළ දී කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විය. වයස අවුරුදු 16න් පහළ, 18න් පහළ සහ 20න් පහළ යනුවෙන් වයස් කාණ්ඩ 3ක් යටතේ පැවති මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබුවේ රාජකීය විද්‍යාලයීය වොලිබෝල් ක්‍රීඩාව සම්බන්ධ උපදේශක හා කළමනාකරණ කමිටුව (RCVAMC) මඟිනි. බාලිකා අංශය සඳහා පැවතියේ වයස අවුරුදු 20න් පහළ තරග අංශය පමණි.

වයස අවුරුදු 20න් පහළ බාලක අවසන් මහා තරගය

ගම්පහ බණ්ඩාරනායක විදුහල් කණ්ඩායම සහ කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම අතර පැවති වයස අවුරුදු 20න් පහළ බාලක අවසන් මහා තරගය තරග වට 2-3 (25-22, 11-25, 18-25, 25-21, 12-15) ක් ලෙස ජයග්‍රහණය කරනු ලැබුවේ රාජකීය විදුහල් කණ්ඩායමයි.

අවසන් මහා තරගයට හොඳ ආරම්භයක් ලබා ගන්නට බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩකයින් සමත් විය. ඒ අනුව උණුසුම් තරගයකින් අනතුරුව තරගයේ පළමු වටය ජයග්‍රහණය කරන්නට බණ්ඩාරනායක විදුහල් කණ්ඩායම සමත් විය. පළමු වටයේ ලකුණු තත්වය සටහන් වූයේ ලකුණු 25-22ක් ලෙසයි.

කෙසේ වුවත් තරගයේ දෙවන වටයේ දී ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වන්නට රාජකීය විදුහල් ක්‍රීඩකයින් සමත් විය. ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කළ ඔවුන් තරගයේ දෙවන වටය ලකුණු 11-25ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරන්නට සමත් විය.

දෙවන වටයේ දී දැක්වූ දස්කම් තෙවන වටයටත් ඒ ආකාරයෙන්ම රැගෙන ගිය රාජකීය විදුහල් කණ්ඩායම දැඩි අපහසුතාවයකින් තොරව එම වටය ද ජය ගත්තේ ලකුණු 18-25ක් ලෙසයි.

ඒ අනුව රාජකීය ක්‍රීඩකයින් තරගයේ දෙවන හා තෙවන වටවල දී දැක්වූ දස්කම් හේතුවෙන් තරගයේ සිව්වන වටය ද ජයග්‍රහණය කරමින් ඔවුන් තරගාවලියේ ශූරතාවය දිනා ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළහ. කෙසේ නමුත් තරගයේ සිව්වන වටයේ දී බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩකයින් නැවතත් සිය සුපුරුදු රිද්මයට ළඟා විය. ඒ අනුව ඔවුන් එම වටය ලකුණු 25-21ක් ලෙස ජයග්‍රහණය කළේ තරගයේ තීරණය තීරණාත්මක පස්වන වටයට රැගෙන යමිනි.

පස්වන වටයට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩකයින් එම වටය ආරම්භයේ දී ඉදිරියෙන් රැඳෙන්නට සමත් වූයේ රාජකීයයන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි. කෙසේ වුවත් එම අභියෝගය සාර්ථකව ජය ගත් කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම තීරණාත්මක පස්වන වටය ලකුණු 12-15ක් ලෙස ජයග්‍රහණය කළේ තරගයේ ජයග්‍රහණය හිමිකර ගනිමිනි.

වයස අවුරුදු 18න් පහළ බාලක අවසන් මහා තරගය

කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම තරග වට 3-1 (25-23, 25-23, 29-31, 25-16)ක් ලෙස පරාජය කළ හොරණ විද්‍යාරත්න විදුහල් කණ්ඩායම තරගාවලියේ වයස අවුරුදු 18න් පහළ බාලක ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

තරගයේ පළමු තරග වට දෙකම උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 25-23ක් ලෙස ජය ගැනීමට සමත් වූයේ විද්‍යාරත්න ක්‍රීඩකයින් ය.

කෙසේ වුවත් තරගයේ තුන්වන වටයේ දී කණ්ඩායම් දෙකම ඉතා විශිෂ්ට අන්දමින් ක්‍රීඩා කළ අතර කණ්ඩායම් දෙකම මාරුවෙන් මාරුවට ලකුණු රැස්කරමින් තරගය ඉදිරියට ගෙනගියේ තරගයේ උණුසුම ඉහළ නංවමිනි. අවසානයේ දී රාජකීයයන් ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 29-31ක් ලෙස එම වටය ජයග්‍රහණය කළේ තරගය සිව්වැනි වටයක් කරා රැගෙන යමිනි.

නමුත් තරගයේ සිව්වන වටයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ විද්‍යාරත්න ක්‍රීඩකයින් එම වටය ලකුණු 25-16ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරන්නට සමත් විය.

වයස අවුරුදු 16න් පහළ බාලක අවසන් මහා තරගය

කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම තරග වට 2-0ක් ලෙස පරාජය කළ හොරණ විද්‍යාරත්න විදුහල් කණ්ඩායම තරගාවලියේ වයස අවුරුදු 16න් පහළ බාලක ශූරතාවය දිනා ගනු ලැබීය.

තරගයේ පළමු වටය දැඩි අභියෝගයකින් තොරව ලකුණු 25-18ක් ලෙස ජයග්‍රහණය කරන්නට විද්‍යාරත්න ක්‍රීඩකයින් සමත් විය.

අනතුරුව තරගයේ දෙවන වටය ද ලකුණු 25-20ක් ලෙස ජය ගන්නට ඔවුන්  සමත් විය.

වයස අවුරුදු 20න් පහළ බාලිකා අවසන් මහා තරගය

පානදුර අගමැති බාලිකා විද්‍යාලයීය කණ්ඩායම තරග වට 2-0 (25-11, 25-16) ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ බාලිකා ශූරතාවය දිනා ගන්නට ලුම්බිණි විද්‍යාලයීය ක්‍රීඩිකාවන් සමත් විය.

සම්මාන

අවුරුදු 20න් පහළ බාලක –

  • ශූරතාවය – කොළඹ රාජකීය විදුහල
  • අනුශූරතාවය – ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය
  • 3 වන ස්ථානය – කොළඹ නාලන්ද විදුහල

අවුරුදු 20න් පහළ බාලිකා –  

  • ශූරතාවය – ලුම්බිණි මහා විද්‍යාලය  
  • අනුශූරතාවය – අගමැති බාලිකා විද්‍යාලය  
  • 3 වන ස්ථානය – ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය
  • හොඳම පන්දු සකසන්නා (බාලිකා) – ජී. එස්. හිමායා (ලුම්බිණි විද්‍යාලය)
  • හොඳම ප්‍රහාරකයා (බාලිකා) – බී. ඩී. ආර්. බාලසූරිය (ලුම්බිණි විද්‍යාලය)
  • හොඳම ආරක්ෂකයා (බාලිකා)- දිල්ෂානි වාසනා මෙන්ඩිස් (අගමැති බාලිකා විද්‍යාලය)
  • දක්‍ෂතම ක්‍රීඩිකාව – උත්පලා නෙත්මිනී (ලුම්බිණි විද්‍යාලය)

අවුරුදු 18න් පහළ බාලක –

  • ශූරතාවය – විද්‍යාරත්න විදුහල
  • අනුශූරතාවය – කොළඹ රාජකීය විදුහල
  • 3 වන ස්ථානය – රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය, හංවැල්ල  
  • හොඳම පන්දු සකසන්නා – දමිත නිලුක්ෂ (විද්‍යාරත්න විදුහල)
  • හොඳම ප්‍රහාරකයා – චමෝද් කලිත (රාජකීය විද්‍යාලය)
  • හොඳම ආරක්ෂකයා – භාණු ප්‍රශාන් (විද්‍යාරත්න විදුහල)
  • දක්‍ෂතම ක්‍රීඩකයා – රවිඳු පරාක්‍රම (විද්‍යාරත්න විදුහල)

අවුරුදු 16න් පහළ බාලක –

  • ශූරතාවය – විද්‍යාරත්න විදුහල
  • අනුශූරතාවය – කොළඹ රාජකීය විදුහල
  • 3 වන ස්ථානය – ආනන්ද විද්‍යාලය
  • හොඳම පන්දු සකසන්නා – පසිඳු ශාලික (විද්‍යාරත්න විදුහල)
  • හොඳම ප්‍රහාරකයා – එල්. බී. එස් ලක්ෂාන් (රාජකීය විද්‍යාලය)
  • හොඳම ආරක්ෂකයා – ආර්. ඩී. නිමේන්ද්‍ර (විද්‍යාරත්න විදුහල)
  • දක්‍ෂතම ක්‍රීඩකයා – එච්. සී. ටී. පෙරේරා (විද්‍යාරත්න විදුහල)

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<