LPL වංචා දූෂණ වැළැක්වීමට දැඩි පියවර

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය - Coverage powered by MyCola

258
SLC will have Zero Tolerance against corruption

2020 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය තුළ වංචා දූෂණ කටයුතු සිදුවීම වළක්වාලීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගනු ඇති අතර ඒ අනුව එහි දී එවන් සියලු කටයුතුවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය (ICC ACU) සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ විරෝධී ඒකකය (SLC ACU) විසින් මෙවර LPL තරගාවලියේ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග අධීක්ෂණයට ලක්කරනු ලබන අතර එම අදාළ නිලධාරීන් තරගාවලිය පුරාවට හෝටලය තුළ මෙන්ම ක්‍රීඩාංගණය තුළ ද පවත්වනු ලබන සියලුම තරග, අවස්ථාවන් සහ නිල උත්සව අවස්ථාවන්ට සහභාගී වෙමින් දැඩි පරීක්ෂාකාරීව පසුවනු ඇත. 

එමෙන්ම තරගාවලියේ ක්‍රීඩකයින් මෙන්ම නිලධාරීන් ද ඔවුන් වෙත ඉදිරිපත් වන එවන් සියලුම වංචා දූෂණ යෝජනාවන් ඒවා සිදු වූ වහාම LPL තරගාවලිය වෙනුවෙන් පත්කරනු ලබන දූෂණ විරෝධී කළමනාකාරවරුන් වෙත වාර්තා කිරීමට ද වගකීමෙන් බැඳී සිටී. 

තවත් කියවන්න;

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ICCයේ දූෂණ විරෝධී ඒකකයන් විසින් තරගාවලියට අදාළව සිදු වන සියලුම සැක සහිත හෝ දූෂණ කටයුතු පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක වන සෘජු දුරකථන ඇමතුම් අංකයක් ද තරගාවලිය පැවැත්වෙන කාලසීමාව පුරාවට පවත්වා ගෙන යාමට කටයුතු කරනු ඇත. 

“අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටියා ක්‍රීඩකයින් වගේම නිලධාරීන් ද ස්ථාපිත කරලා තියෙන දූෂණ විරෝධී නියමාවලීන්ට අනුගත වෙන බව සහතික කරලා නිවැරදි සහ සාධාරණ තරගාවලියක් පවත්වන්න කටයුතු කරන්න කියලා. 

කිසිම වංචා දූෂණයකින් තොරව තරගාවලිය ඉදිරියට යන බව තහවුරු කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගේම ICCයේ දූෂණ විරෝධී ඒකකයන්ට අමතරව අවශ්‍ය අවස්ථාවන් වලදී අපි රජයේ ආරක්ෂක නියෝජ්‍යායතනවලත් සහයෝගය ලබා ගන්නවා” කණ්ඩායම් හිමිකරුවන් සමඟ පැවති රැස්වීමකින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා පැවසීය. 

ඒ අනුව ක්‍රීඩාවට අදාළව මුදලට තරග පාවා දීම, දූෂණ වංචා, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම වැනි ක්‍රියාවන් ශ්‍රී ලංකා නීතිය යටතේ සාපරාධී වැරදි බවට පත්කරමින් මෑතක දී පනවනු ලැබූ 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළක්වීමේ පනතට අනුගත වෙමින් තරගාවලියට සහභාගී වන සියලුම දෙනා කටයුතු කිරීම මෙහි දී අනිවාර්ය වේ.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<