අයුක්තියට, අසාධාරණයට එරෙහිව නැගී සිටි ඔලොන්ගා!

5752
Henry Olonga

උඹේ පුතාට ආයේ මේ රටේ පස් පාගන්න එපා කියපන්!

දුරකතන ඇමතුමකි. දුරකතන ඇමතුම ලැබෙන්නේ එවකට සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් සිටි ක්‍රීඩකයෙකුගේ පියෙකුටය.

සිම්බාබ්වේ මධ්‍යම රහස් ඔත්තු සේවයේ නියුතු මිත්‍රයෙකුගෙන්, සිය පියාට ලද මේ ඇමතුමත් සමඟ තමන්ගේ ජීවිතයේ හෝ සිම්බාබ්වේ දේශයේ තමන් ගත කරන අවසන් දින කිහිපය එය විය හැකි බව විසිහය හැවිරිදි හෙන්රි ඔලොන්ගා නම් තරුණ සිම්බාබ්වේ ක්‍රීඩකයා දැන සිටියේය.

2003 අප්‍රිකානු මහද්වීපයේ පැවති ක්‍රිකට් ලෝක කුසලානයේ සිය ආරම්භක තරගයට සිම්බාබ්වේ ක්‍රීඩා කළේ නැමීබියා කණ්ඩායමට එරෙහිවය. හරාරේ නුවර පැවති මෙම තරගයෙන් පහසු ජයක් අත් කරගන්නට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

හෙන්රි ඔලොන්ගා සිම්බාබ්වේ-නැමීබියා තරගය අතරතුර පන්දු යවමින්

සිම්බාබ්වේ කණ්ඩායමේ ජයග්‍රහණයට වඩා කැපී පෙනෙන සිද්ධියක් මේ තරගයේ දී සිදුවිය.

රොබට් මුගාබේගේ ඒකාධිපති වියරුවට එරෙහිව සිම්බාබ්වේ දේශයේ ප්‍රජාතන්ත්‍රවාදය මිය යමින් තිබූ මොහොතක සිම්බාබ්වේ දේශය බිහි කළ අනර්ඝතම පිතිකරුවා වූ ඇන්ඩි ෆ්ලවර් සහ හෙන්රි ඔලොන්ගා කළු පටි බැඳ ගනිමින් සිය විරෝධතාවය ප්‍රකාශ කළේය.

එවැනි ක්‍රියාවක් කිරීමේ දරුණු ප්‍රතිඵලය අපි දැන සිටියා. මරණ වරෙන්තු අතේ තබාගෙන මුගාබේ හිතවත් නිලදරුවන් මා පිටුපසින් පන්නන බව මා දැන සිටියා.

ජීවිතය බේරා ගැනීමේ එකම විසඳුම උපන් රටෙන් පිටවීම පමණයි. නමුත් එයට මට කිසිම ඉඩක් නැති බවත් බව මා දැන සිටියා. රටෙන් පිටවීමට කියා දේශ සීමා වෙත දිවයෑම කිසිසේත්ම කළ නොහැක්කක්.

මුගාබේ සිය විරුද්ධවාදීන්ට සලකන ආකාරය මා දැන සිටියා. ඔවුන් පොකුරු පිටින් ගෙන ගොස් ඇසිඩ් වතුරේ ගිල්වන බව මා අසා තිබුණා. ජනගහනයෙන් හතරෙන් එක් අයෙකු ඒඩ්ස් රෝගයෙන් පීඩා විඳින සිම්බාබ්වේ දේශයේ සිර මැදිරියක ජීවිතයට වඩා මරණය සැපක් බවත් මා දැන සිටියා.

ඇන්ඩි ෆ්ලවර් සහ හෙන්රි ඔලොන්ගා ගේ සහායට පැමිණි ප්‍රේක්ෂකාගාරයේ නරඹන්නෙක්.

සිම්බාබ්වේ රටෙන් පිටවීමට මට තිබුණේ එකම මගක් පමණයි. ඒ සිම්බාබ්වේ කණ්ඩායම ලෝක කුසලානයේ සුපර් සික්ස් වටයට සුදුසුකම් ලැබීම පමණයි. ලෝක කුසලානයේ සුපර් සික්ස් වටයේ තරග පැවැත්වුණේ දකුණු අප්‍රිකාවේ දී.

හෙන්රි ඔලොන්ගා රහිතව සිම්බාබ්වේ කණ්ඩායම සුපර් සික්ස් වටයේ තරග පැවැත්වෙන දකුණු අප්‍රිකාවට ගියහොත් මුගාබේට ජාත්‍යන්තරයෙන් එල්ල විය හැකි පීඩනය කෙතරම්ද කියා මා හොඳින්ම දැන සිටියා.

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවරට පිටත් වන ගුවන් ගමන සහ මගේ ජීවිතය බේරා ගැනීම අතර පොඩි පරහක් තිබුණා.

වසීම් අක්‍රම්, වකාර් යුනිස්, සයිඩ් අන්වර්, ඉන්සමාම් උල්හක්, ෂොයිබ් අක්තාර් වැනුන්ගෙන් සැදුම් ලත් පාකිස්තානු කණ්ඩායම මගේ ජීවිතය සහ නිදහස වෙනුවෙන් පරහකට තිබූ එකම කාරණාවයි.

පාකිස්තානය සමග තරගය ජය ගැනීම හෝ විසඳුමක් රහිතව නිමා කර ගැනීම සිම්බාබ්වේ කණ්ඩායමට සුපර් සික්ස් වටයට යන්නට ප්‍රමාණවත් වුනා. පාකිස්තානය පරාජය කිරීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව මම දැනගෙන හිටියා.

‘ඔය ඔලොන්ගා කියන හාදයා හිතනවා ඌ හරි වැඩකාරයෙක් කියලා. ඌට ලෝක කුසලානය අවසන් වෙනකල් ඉමු. ඌට වෙන දේ ඌවත් දන්නේ නෑ’

මුගාබේ රජයේ ඇමතිවරයෙක් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබුණා.”

පාකිස්තානු තරගයට පෙර දින රාත්‍රියේ බුලෝවායෝ නුවර සිම්බාබ්වේ කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයේ දෙවියන් ඉදිරියේ දණින් වැටුණ හෙන්රි ඔලොන්ගා  මෙලෙස යාච්ඤා කළේය.

“දෙවියන් වහන්ස,

මට ඔබ වහන්සේගේ උපකාරය දැඩිව ඕන කරන අවස්ථාවක් මේ. මට සිම්බාබ්වේ දේශයෙන් පිටවීමට, ජීවිතය බේරාගැනීමට එක අවස්ථාවක් ලබා දෙන්න”

මෙම තරගය පාකිස්තානු කණ්ඩායමටත් තරගාවලියේ අනිවාර්යයෙන්ම ජය ගත යුතු තරගයක් බවට පත්ව තිබූ බැවින් හෙන්රි ඔලොන්ගා සිටියේ දෙලොවක් අතරය.

“මම කණ්ඩායමේ අනෙක් සාමාජිකයින් විහිළු තහළු කරමින් සිටි අවස්ථාවක නායක හීත් ස්ට්‍රික් ඒ අසලින් ගමන් කළා.

සමස්ත සිම්බාබ්වේ දේශය වෙනුවෙන් නිර්භීත අයුරින් ඔබ දෙදෙනා සටන් වැදුණ ආකාරය අපූරුයි. තවත් නරඹන්නෙක්.

‘අධි බලැති විදුලි ධාරා උඹේ ඇඟ ඇතුලෙන් යවන කොට උඹට ඔය විදියට හිනා වෙන්න නම් බැරි වෙයි’

පාකිස්තානය සමඟ තරගය ආරම්භ වන විට මගේ හිතේ අහලකවත් ක්‍රිකට් තිබුණේ නැහැ.

ඔවුන් මාව කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයින් එකොළොස් දෙනා අතරට නොගන්නා බව මම හොඳින්ම දන්නවා. කළු පටි බැඳ ගත් දිනයේ සිටම ඔවුන් මා නොසලකා හැර තිබුණේ.

මට කළ හැකි එකම දේ මගේ සහෝදර ක්‍රීඩකයින් දිරිමත් කිරීම පමණයි. කෙසේ හෝ මේ තරගය ජයගත යුතු බවට මා නිරන්තරයෙන් ඔවුන්ට මතක් කළා.

කාලගුණ වාර්තාවේ තිබූ පරිදි තරගය ආරම්භයේ පටන් වර්ෂාවෙන් බාධා ඇති වුනා. කාසියේ වාසිය දිනූ පාකිස්තානු නායක වකාර් යුනිස් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා.

එදා වර්ෂාව නිසා කිහිපවතාවක් තරගය නතර කරන්නටත් සිදු වුනා. පාකිස්තානු ඉනිමේ පන්දුවාර 14ක් යැවූ තැන වර්ෂාව තරමක් වේගයෙන් ඇද හැලෙන්නට වුනා. ඒ අවස්ථාවේ දී පාකිස්තානු ලකුණු පුවරුව කියවුණේ 73/3ක් ලෙසින්.

වර්ෂාව දිගින් දිගටම ඇද වැටුණා. එතරම් සැර නැති වුවත් ක්‍රීඩාව නතර කර තබන්නට එය ප්‍රමාණවත් වුනා. මා නිරන්තරයෙන් කාලගුණය වෙනස් වන ආකාරය ගැන අවධානයෙන් හිටියේ. අවසානයේ තරගය අත්හැර දැමීමට තරග තීරකවරයා තීරණය කරනු ලැබුවා.

තරගය නතර කිරීමෙන් මොහොතකට පසු වර්ෂාව නතර වී බුලෝවායෝ නුවරට දැඩි හිරු රැස් පතිත වන්නට පටන් ගත්තා. පාකිස්තානු කණ්ඩායම අසාධාරණයකට ලක්වූවා යැයි බොහෝ අය කතා කරන්නට වුනා. නමුත් හිත ඇතුලෙන් මා ප්‍රීති ප්‍රමෝදයට පත්වෙලා හිටියේ.

අනපේක්ෂිත අයුරින් පාකිස්තානු කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට යද්දී මා ඇතුළු සිම්බාබ්වේ කණ්ඩායම දකුණු අප්‍රිකාවට යන බව ස්ථීර කෙරුණා.

මුගාබේගේ දරුණු වධයින්ට මා දැන් ඇල්ලිය නොහැකි බව මම දන්නවා. මා කෙසේ වෙතත් දැන් මා ඇල්ලිය නොහැකි බව මිනීමරු රොබට් මුගාබේ හොඳින්ම දන්නවා.

දකුණු අප්‍රිකාවට යෑමට පෙර දිනයේ මම හරාරේ නුවර පිහිටි මගේ ගෙදරට ගියා. මා නිවසේ ගත කරන අවසාන දිනය මෙය බවට කිසිම සැකයක් නැහැ.

ජොහැන්ස්බර්ග් බලා යන ගුවන් යානයේ අසුනේ වාඩි වී මා මගේ ජීවිතය දෙස නැවත හැරී බැලුවා. අතීතය කෙසේ වෙතත් අනාගතය මට පැහැදිලි නෑ.

දෙවියන්ට මා වෙනුවෙන් වෙනම සැලසුමක් තිබුණා. දුගඳ හමන සිර කුටියක්, ගිනි ගෙන දැවෙන සිරුරක් හෝ අවසාන හුස්ම පොද වැටෙන තෙක් පහරකෑම, වධහිංසනයන්ට ලක්වීම වෙනුවට දෙවියන් මට නැවත ජීවිතය දෙන්නට තීරණය කර තිබුණා.

මා දෙඅත් උසවා ජීවිතය වෙනුවෙන් දෙවියන් වහන්සේට භක්තිගරුකව ස්තූතිය පුද කර සිටියා.”

හෙන්රි ඔලොන්ගාගේ ස්වයංචරිතාපදානය Blood, Sweat and Treason: My Story ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<