තරංග සහ තිසරගේ දස්කම් සමඟ Lionsට ජයග්‍රාහී ආරම්භයක්!

Legends league Cricket 2023

2329

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් සමඟින් කණ්ඩායම් තුනක සහභාගීත්වයෙන් පැවැත්වෙන Legends league Cricket තරගාවලිය ඊයේ (10) ආරම්භ වුනා.

Asia Lions, India Maharajas, World Giants යන කණ්ඩායම් තුනට අදාළව Aaron Finch, Hashim Amla, Jacques Kallis, Gautam Gambhir, Mohammad Kaif, Shahid Afridi මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තිලකරත්න ඩිල්ශාන්, තිසර පෙරේරා, උපුල් තරංග වැනි ක්‍රීඩකයින් ද මෙවර තරගාවලිය සඳහා එක් වී තිබෙනවා.

මෙහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සියල්ලන් ම Asia Lions නියෝජනය කරමින් තරග වැදීමට නියමිතයි.

ඒ අනුව මෙවර තරගාවලියේ ආරම්භක තරගය Asia Lions සහ India Maharajas කණ්ඩායම් දෙක අතර ඊයේ පැවැත්වුනා.

එම තරගය සඳහා Asia Lions නියෝජනය කරමින් උපුල් තරංග, තිලකරත්න ඩිල්ශාන්, තිසර පෙරේරා, ඉසුරු උදාන යන ක්‍රීඩකයින් සහභාගී වූ අතර Lions කණ්ඩායමේ නායකත්වය Shahid Afridi හට හිමි වී තිබුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Asia Lions නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 165ක් ලබා ගැනීමට සමත් වුනා.

එහි දී ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි තිලකරත්න ඩිල්ශාන් ලකුණු 5කට දැවී ගියත්, ඔහුගේ සහය පිතිකරු උපුල් තරංග දිගින් දිගටම පිටියේ රැඳී සිටීමට සමත් වුනා.

ඔහු විසින් ඉනිමේ තෙවැනි කඩුල්ලට Misbah-ul-Haq සමඟ ලකුණු 108ක සම්බන්ධතාවක් පිහිටුවීමට සමත් වූ අතර පන්දු 39කින් ලකුණු 40ක් ලබා සිටිය දී තරංගගේ ඉනිම නිමා වුනා.

Lions වෙනුවෙන් Misbah-ul-Haq ලකුණු 73ක් ලබා ගැනීමට සමත් වුනා. Maharajas වෙනුවෙන් Stuart Binny විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

මේ අනුව ලකුණු 166ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Maharajas කණ්ඩායමට පහසුවෙන් එම ඉලක්කය හඹා යාමට ඉඩ නොදුන් Lions පන්දු යවන්නන් විසින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වුනා.

අවසානයේ නියමිත පන්දුවාර 20 තුල දී Maharajas විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 156ක් පමණයි.

Maharajas ඉනිම වෙනුවෙන් නායක Gautam Gambhir ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වූ අතර, Lions වෙනුවෙන් Sohail Tanvir විසින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඊට අමතරව Maharajas ඉනිමේ අවසන් භාගයේ දී තිසර පෙරේරා විසින් දක්ෂ පන්දු යැවීමක නිරත වුනු අතර ඔහු විසින් ලකුණු 30කට එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනා. ඊට අමතරව තිලකරත්න ඩිල්ශාන් සහ ඉසුරු උදාන අතරේ ද එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව India Maharajas ලකුණු 9කින් පරාජය කරමින් Asia Lions තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කළ අතර තරගයේ වීරයා ලෙස Misbah-ul-Haq විසින් සම්මාන දිනා ගත්තා.

තරගාවලියේ දෙවැනි තරගය අද (11) India Maharajas සහ World Giants කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

Legends league තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<