“අවබෝධයක් නැතත් ඒ තනතුර මට ලොකු ගෞරවයක්” – ස්ටෝක්ස්

220

ජාතික ක්‍රිකට් කණ්ඩායමක නායකත්වයේ නිසි වගකීම පිළිබඳව තමන් හට තවමත් නිසි අවබෝධයක් නොමැති නමුත් ටෙස්ට් තරගයක දී එංගලන්ත නායකත්වය දැරීමට හැකි වීම තමන් හට විශාල ගෞරවයක් බව එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පවසා සිටියි. 

කොදෙව් නායකයාගෙන් ඉහළ පුටුවලට සැර ප්‍රකාශයක්!

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක ජෝ රූට් හට එළඹෙන ජූලි 08 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මඟ හැරීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ. ඒ ඔහු දෙවන වරටත් පිය පදවිය අපේක්ෂාවෙන් සිටින නිසාවෙනි. 

යම් හෙයකින් නිත්‍ය නායක රූට් හට එම තරගය සඳහා සහභාගී වීමට නොහැකි වුවහොත් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරන බෙන් ස්ටෝක්ස් හට එම නායකත්වය ලැබෙනු ඇත. 

“මම දැනට නායකත්වයේ ගැඹුරටම ගිහිල්ලා නැහැ. අපේ කණ්ඩායම මේ වෙනකොට ඉතාමත් හොඳ සූදානමක ඉන්නවා. අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඒක නිසා මට ඒ වගකීම ඉටුකරන එක ලොකු අමාරුවක් වෙන එකක් නැහැ. මම හරි වෙලාව තුළදී මගේ තියෙන අත්දැකීම් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ නායකත්වය දරන එක, එක පාරටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට හොඳ අඩිතාලමක් තියෙන්න ඕනේ. ඒ දැනෙන පීඩනය එහෙම පාලනය කරගත්තේ නැත්නම් පිටිය මැද දී ගන්න තීරණ ඔක්කොම අවුල් වෙනවා. හැබැයි මට මේ නායකත්වය ලැබුනොත් ඒක මට ලොකු ගෞරවයක්.”  

එංගලන්තයට මුල්ම ලෝක කුසලාන ජයග්‍රහණය දිනා දුන් අවසන් මහා තරගයේ වීරයා වුනු ස්ටෝක්ස්, ජෝ රූට්ගෙන් සහ එංගලන්ත හිටපු නායක ඇලෙස්ටෙයාර් කුක්ගෙන් වසර ගණනාවක් තිස්සේ බොහෝ දේ ඉගෙන ගෙන ඇති බවට විශ්වාසයක් ඇති අතර, එළඹෙන ටෙස්ට් තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එල්ල කළ හැකි ඕනෑම දෙයකට මුහුණ දීමට තමා සූදානම් බව ඔහු විශ්වාසයෙන් සිටියි. 

“මම 2016 වසරේ ඉඳන් එංගලන්ත කණ්ඩායමේ ඉන්න ජේෂ්ඨ ක්‍රීඩකයෙක්. මම කණ්ඩායමේ ඉන්නකොට රූට්ගෙන් සහ ඇලෙස්ටෙයාර් කුක්ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. ඒ ලබා ගත්ත අත්දැකීම් මගේ ඉදිරි ක්‍රිකට් ජීවිතයට වගේම මේ නායකත්වයේ අභියෝගය ලබා ගන්නත් ලොකු සවියක් වෙයි කියලා මම හිතනවා.” යයි ස්ටෝක්ස් අන්තර්ජාලය හරහා පැවති හමුවක දී පවසා සිටියේය. 

“ජිමී ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් මගේ නායකත්වයේ තනතුර මෙහයවන්න ලොකු සවියක් වෙයි කියලා මම හිතනවා. මොකද ඔවුන් දෙදෙනාටත් මේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් බොහෝමයක් තිබෙන ක්‍රීඩකයින් දෙපලක්. මම හැමෝගෙම අදහස් වලට සවන් දීලා විවෘත නායකයෙක් ලෙස කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.” 

16 වසරකට පසුව සැබෑවීමට තිබූ සිම්බාබ්වේ සිහින පස්සට

“කොරෝනා නිසා අපේ ක්‍රිකට් ජීවිතයෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා පවුලේ අයත් එක්ක ඉන්න පුළුවන් වුනා. ඒ වගේම ක්‍රිකට් නැතිව ගොඩ කාලයක් ගෙදරට වෙලා හිටියමත් ඇඟට නිකන් හරි නැහැ වගේ. ඒ කොහොම වුනත් ජාත්‍යන්තර ක්‍රිකට් නැවත එංගලන්තයට ගේන්න සහය වුනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ස්තූතිවන්ත වෙන්නත් මම මේක අවස්ථාවක් කරගන්න කැමතියි. මේ තරග බලන්න ප්‍රේක්ෂකයින් නොමැති එක පාඩුවක්. විශේෂයෙන් සත්කාරක රට විදිහට ක්‍රීඩා කරන අපිට ඒ පාඩුව ගොඩක් තදට දැනේවි. හැබැයි ඉතින් මොනා කරන්න ද? එන දෙකට මුහුණ දෙන්න අපි සූදානමින් ඉන්න එක තමයි කරන්න පුළුවන් හොඳම දේ.” යැයි ස්ටෝක්ස් අවසන් ලෙස පැවසීය. 

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය යෝජනා කර ඇති අන්දමට ජූලි මස 08, 16 සහ 24 ටෙස්ට් තරග ආරම්භ කිරීමට නියමිත අතර තරග පැවැත්වෙන්නේ Ageas Bowl සහ ලැන්කෂයර් ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් ක්‍රීඩාංගණවලයි. 

තරග කාලසටහන 

  • පළමු ටෙස්ට් තරගය – ජූලි මස 08-12 – Ageas Bowl පිටියේ දී 
  • දෙවන ටෙස්ට් තරගය – ජූලි මස 16-20 – ලැන්කෂයර් හිදී 
  • තෙවැනි ටෙස්ට් තරගය – ජූලි මස 24-28 – ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් හිදී 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<