16 වසරකට පසුව සැබෑවීමට තිබූ සිම්බාබ්වේ සිහින පස්සට

525

කොරෝනා වසංගත තත්වය නිසාවෙන් එළඹෙන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සිම්බාබ්වේ කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමීම සඳහා දෙරටේ ක්‍රිකට් ආයතන දෙක සිය එකඟතාවය පළ කර ඇත.

කොදෙව් නායකයාගෙන් ඉහළ පුටුවලට සැර ප්‍රකාශයක්!

ජාත්‍යන්තර එක්දින තරග තුනකින් යුත් එම තරගාවලිය අගෝස්තු මස 9, 12 සහ 15 යන තෙදින පුරාවට පැවැත්වීමට සැලසුම් සකස් කර තිබුණි.

තරග මාලාව කෙටි වීම, අගෝස්තු මාසයට පෙර ක්‍රියාත්මක කළ යුතු ජෛව ආරක්ෂණ පියවර සහ ක්‍රීඩකයන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම, තරග නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයන් යොදාගැනීමේ තිබෙන අපහසුතාවය යන කරුණු කාරනා සැලකිල්ලට ගනිමින් තරගාවලිය කල් දැමීමට සිදු වූ බව ක්‍රිකට් ඕස්ට්‍රේලියාවෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහි දැක්වේ.

“තරග මාලාව කල් දැමීම ගැන අපිට ගොඩක් කනගාටුයි. සිම්බාබ්වේ කණ්ඩායම ගොඩක් නොඉවසිල්ලෙන් හිටියේ මේ තරගාවලිය ක්‍රීඩා කරන්න. ක්‍රීඩකයින්, තරග නිලධාරීන්, ස්වේච්ඡා සේවකයන් මෙන්ම අපගේ රසිකයින්ගේ යහපත පිණිස මේ වෙලාවේ ගන්න පුළුවන් හොඳම තීරණය අපි ගත්තා කියලා හිතනවා. මේ තරගාවලිය ඉදිරි දිනයක පැවැත්වීමේ ඇති හැකියාව පිළිබඳව ද ක්‍රිකට් ආයතන දෙක නිල මට්ටමින් කතා කරමින් සිටිනවා” යැයි ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනයේ අන්තර්වාර ප්‍රධාන විධායක නික් හොක්ලි පැවසීය.

සිම්බාබ්වේ ක්‍රිකට් හි වැඩ බලන කළමනාකාර අධ්‍යක්ෂ ගිව්මෝර් මාකෝනි ද කියා සිටියේ මෙම තරගමාලාව ඉදිරියේ දී නැවත පැවැත්වීම සඳහා ක්‍රිකට් ආයතන දෙකම ඉතාමත් සමීපව කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලියත් හබක් 

“අපි ඕස්ට්‍රේලියාව සමඟ එරට තුල ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කරන්න ගොඩක් ආසාවෙන් හිටියේ, නමුත් මේ වගේ වසංගත තත්වයක් පවතින වෙලාවක හැමෝගෙම ආරක්ෂාව අංක 1ට තියලා අපි කටයුතු කරන්න ඕන. ඒක නිසා මේකට තියෙන හොඳම විසඳුම තමයි තරගාවලිය කල් දැමීම. කෙසේ වෙතත්, හැකි ඉක්මනින් ප්‍රායෝගිකව මාලාව නැවත සකස් කිරීමට අපි බලාපොරොත්තු වෙමු” ඔහු පැවසීය.

සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර ඕස්ට්‍රේලියාවේ දී අවසන් වරට ක්‍රිකට් තරගාවලියක් පවත්වා ඇත්තේ 2003/04 කාල සමයේ දී වන අතර තරග දෙකකින් සමන්විත වූ එම ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.

කොරෝනා නිසා කල් දැමුණු ක්‍රිකට් තරගාවලි ගණන ක්‍රමයෙන් තවත් ඉහල යද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිතව සිටි පහත දැක්වෙන තරගාවලි මෙම නව කොරෝනා වසංගත තත්වය නිසා දින නියමයක් නොමැතිව කල් ගොස් ඇත.

  • එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය – ටෙස්ට් තරග 2 (මාර්තු)
  • දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය – එක්දින තරග 3, විස්සයි විස්ස තරග 3 (ජුනි)
  • ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය – එක්දින තරග 3, විස්සයි විස්ස තරග 3 (ජුනි/ජූලි)
  • බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය – ටෙස්ට් තරග 3 (ජූලි/අගෝස්තු)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<