ඉන්දීය දේශීය ක්‍රිකට් පිටියේ ජයග්‍රාහී මුදල් ඉහළට

180
BCCI hikes cash prize for domestic tournaments

දේශීය ක්‍රිකට් පිටියේ වැඩි තරගකාරීත්වයක් ඇති කිරීමට සහ වටිනාකම ඉහළ නැංවීම සඳහා දේශීය තරගාවලි සඳහා ලබා දෙන ත්‍යාග මුදල් ඉහළ දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ ප්‍රධානතම තරගාවලිය වන රංජි කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා මෙතෙක් ලබා දුන් ඉන්දීය රුපියල් කෝටි 2ක මුදල කෝටි 5ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

එමෙන්ම රංජි කුසලාන තරගාවලියේ අනුශූරයින් සඳහා ඉන්දීය කෝටි 3ක මුදලක් සහ අවසන් පූර්ව තරගයේ පරාජිතයින්ට ඉන්දීය කෝටියක මුදලක් හිමි වෙනවා.

“මම කියන්න කැමතියි සියලු දේශීය තරගාවලි සඳහා ලබා දෙන ත්‍යාග මුදල වැඩි කරා කියලා. අපි දේශීය ක්‍රිකට් සඳහා කරන ආයෝජන ඉහළ නංවන්න තීරණය කරලයි තියෙන්නේ. මොකද ඒක තමයි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ කොඳු නාරටිය.

රංජි කුසලාන ජයග්‍රාහකයින්ට ලබා දෙන මුදල කෝටි 5ක් දක්වා වැඩි කරනවා වගේම කාන්තා කණ්ඩායමට ලක්ෂ 6 සිට 50 දක්වා මුදල් ත්‍යාග ලබා දීමට තීරණය කරලා තියෙනවා,” යැයි ඉන්දීය ක්‍රිකට් ලේකම් Jay Shah ප්‍රකාශ කළා.

එමෙන්ම Irani කුසලානය සඳහා මෙතෙක් ලබා දුන් ලක්ෂ 25ක ත්‍යාග මුදල දෙගුණයක් කර 50 දක්වා ඉහළ නංවා මෙතෙක් කිසිම මුදලක් ලබා නොදුන් අනුශූරයින් හට ලක්ෂ 25ක් ලබා දීමට ඉන්දීය පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

දුලීප් කුසලානයේ සහ Vijay Hazare කුසලානයේ ජයග්‍රාහකයින් හට කෝටියක මුදලක් නව ක්‍රමය යටතේ හිමි වන අතර අනුශූරයින් හට රුපියල් ලක්ෂ 50ක මුදලක් හිමි වෙනවා.

දේශීය කාන්තා පිටියේ ද වටිනාකම් ඉහළ නැංවීමට මෙවර තීරණය කර තිබෙන අතර ඉන්දීය ජ්‍යෙෂ්ඨ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයින්ට ලක්ෂ 50ක් සහ අනුශූරයින්ට ලක්ෂ 25ක් ලබා දෙනවා.

එම තරගාවලියේ විස්සයි විස්ස අදියරේ ජයග්‍රාහකයින් හට ලක්ෂ 40ක මුදලක් සහ අනුශූරියන් හට ලක්ෂ 20ක මුදලක් නව ත්‍යාග යටතේ හිමි වෙනවා.

2023-24 කාලසීමාව සඳහා ඉන්දීය දේශීය ක්‍රිකට් පිටියේ තරග ජුනි 05 ආරම්භ වීමට නියමිත අතර රංජි කුසලානය ලබන (2024) වසරේ ජනවාරි මාසයේ දී ආරම්භ කිරීමට සූදානම්.

කාන්තා දේශීය තරගාවලිය ඔක්තෝබර් 19 විස්සයි විස්ස තරගාවලියෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර එක්දින තරගාවලිය ජනවාරි 4 සිට 26 දක්වා පැවැත්වෙනවා.

දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<