Kohliගේ අසාර්ථකත්වය මකා දැමූ Shastriගේ උපදෙස

2560

මීට වසර 6ක කාලයකට පෙර එනම් 2014 වසරේ දී පැවති ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත සංචාරය, සුපිරි පිතිකරු Virat Kohli හට සිය ක්‍රිකට් දිවියේ අඳුරුතම මතකයක් බවට පත්වූයේ ඔහු එහි දී ඉනිම් 10ක් තුළ සමස්ත ලකුණු 134ක තරම් අඩු සංඛ්‍යාවක් වාර්තා කරගනිමින් දැඩි ලෙස අසාර්ථක වීමත් සමඟ ය.

ඉතිහාසය වෙනස් කරන්නට යන ක්‍රිකට් මහගෙදර සභාපතිනිය   

ඊට වසර 4ක කාලයකින් අනතුරුව 2018 වසරේ දී ඉන්දීය කණ්ඩායම නැවතත් එංගලන්තයේ සංචාරය කරන විට එය Kohliගේ ක්‍රිකට් දිවිය තුළ ඔහුට මුහුණ දීමට සිදු වූ සුවිසල්ම අභියෝග අතරින් එකක් වූ බවට කිසිඳු සැකයකින් තොරව ප්‍රකාශ කළ හැක. ඊට පෙර සංචාරයේ දී අත්විඳි අසාර්ථකත්වය තුළින් තමන් ඉගෙන ගත් පාඩම් හරහා තම දක්‍ෂතාවයන් මෙවර ඉහළ නංවාගැනීම මෙහි දී ඔහුට අතිශය වැදගත් විය. 

“2014 වසර මගේ ක්‍රිකට් දිවියේ සංධිස්ථානයක්. ගොඩක් ක්‍රීඩකයෝ ඔවුන් හොඳට දක්‍ෂතා දක්වපු සංචාර තමයි සංධිස්ථානයක් විදිහට සලකන්නේ. ඒත් මගේ ක්‍රිකට් දිවියේ නම් සුවිශේෂීම සංධිස්ථානය තමයි  2014 වසරේ ඒ සංචාරය. ඊට පස්සේ තිබ්බ වැදගත්ම සංචාරය ඕස්ට්‍රේලියාව වීමත් එක්ක මට හිතුනා මට දක්‍ෂතා අතරට එන්න බැරි වෙයි කියලා. ඒ නිසා මුලින්ම මට වාඩි වෙලා මං හිතන විදිහ වගේම මම තරගයක දී ක්‍රීඩා කරන විදිහත් මට වෙනස් කරගන්න සිදු වුනා.” 

“ඒ හරහා මම ගොඩක් නිර්භීත වෙන්න පටන් ගත්තා. ඒ සීමිත පන්දුවාර තරගවල වගේ පහසු බව හැඟෙන, හැමවෙලේම ඔබ මොකක්ද අවස්ථාව කියල දන්න අවස්ථාවන්ට අදාළව නෙමෙයි. ඒ වගේ අවස්ථාවල ඔබ ඔබව සූදානම් කරගන්නවා වගේම ඔබ පහසුවෙන් පෙළඹවීමක් ඇතිකර ගන්නවා. ඒත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් අපහසු අවස්ථාවල දී කලබල නොවී සන්සුන් බව පවත්වගන්න එක තමයි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කරන්න අපහසුම දේ. ඉතින් ඒක මම ගොඩක්ම නිවැරදි කරගත යුතුව තිබ්බ දෙයක්.” 

කෙසේ නමුත් 2018 වසරේ දී පැවති එංගලන්ත සංචාරයේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ද දැරූ Kohli එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින්, පැවති ටෙස්ට් තරග පහ තුළ ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් ද සමඟින් සමස්ත ලකුණු 593ක් වාර්තා කරගැනීමට සමත් වූයේ 59.30ක ඉහළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ද පවත්වා ගනිමින් විශිෂ්ට දස්කම් දක්වමිනි. එහි දී ඉන්දියාව එම තරගාවලිය 4-1ක් ලෙස පරාජයට පත්වුවත් Kohliගේ දක්‍ෂතා එහි දී කැපී පෙනෙන්නට විය.  

ඒ අනුව එම සාර්ථකත්වයට ඉවහල් වූ තරගාවලියේ ආරම්භයට පෙර ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Ravi Shastri විසින් ඔහුට සහ Shikhar Dhawan හට ලබා දුන් උපදෙසක් පිළිබඳව ද Kohli මෙහි දී අදහස් දැක්වීය. 

“ඒ 2014 වසරේ එංගලන්ත සංචාරයට පස්සේ. Shastri මටයි, Dhawanටයි ඔහුගේ කාමරයට එන්න කියලා කිව්වා. ඒ වගේම ඔහු එහි දී bat එකක් ගේන්න කියලත් කිව්වා. ඔහුට ක්‍රිකට් ක්‍රීඩාව ගැන විශාල අවබෝධයක් තියෙනවා. ලොකු වෙනසක් කරන්න යොදාගන්න පුළුවන් සුළු සුළු දේවල් ගැන ඔහු හොඳට දන්නවා. මොකද පසුපෙළ පිතිකරුවෙක් විදිහට ක්‍රීඩා කරලා පස්සේ ඉන්දියාව වෙනුවෙන් ආරම්භක ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩා කරන එක සහ 40කට වැඩි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගන්න එක සහ ලෝකේ හැමතැනම වගේ ශතක වාර්තා කරන එක වගේ දක්‍ෂතා දක්වන්න නම් ඔබට ක්‍රීඩාව ගැන හොඳ අවබෝධයක් තියෙන්නම ඕනේ. ඉතින් ඒ ගැන ඔහුට තිබ්බේ ඉතා තියුණු අවබෝධයක්.” 

වර්ණවාදයට සංගාගෙන් පිළිතුරක්

“ඔහු මට උපදෙසක් දුන්නා crease එකෙන් පිටත හිටගෙන ක්‍රීඩා කරන්න කියලා. ඉතින් මම ඒක කරන්න පුහුණු වුනා. ඔහු එහි දී ඒක පසුපස තියෙන හේතුත් මට පැහැදිලි කරලා දුන්නා. ‘ඔයා ක්‍රීඩා කරන ඉඩකඩ තුළ ඔයාට පාලනයක් තියෙන්න ඕනේ වගේම පන්දු යවන්නන්ට ඔයාව දවා ගන්න අවස්ථාවක් නොදී ඉන්න ඕනේ. ඉතින් crease එකෙන් පිටත හිටගෙන පන්දුවට පහර දෙනකොට ඔයා දැවී යන්න තියෙන අවස්ථාවන් ගොඩක් ඉවත් වෙලා යනවා.’ ඊට පස්සේ ඕස්ට්‍රේලියානු සංචාරයේ දී මම ඒක සිදු කළා. අවසානේ ඒකෙන් මට හිතාගන්න බැරි තරම් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුනා.” 

“ඔහු මගෙන් එක දෙයක් ඇහුවා. ඒ තමයි මං short ball වලට බය ද කියලා. මම නෑ කිව්වා. එතකොට ඔහු කිව්වා ‘හොඳයි, එහෙනම් crease එකෙන් පිටත හිටගෙන ඉන්න.’ කියලා.” 

“2018 වසරේ එංගලන්ත සංචාරයට කලින් මම පුහුණුවීම් කරනවා දැකලා ඔහු නැවතත් ඇහුවා ඇයි මම crease එකෙන් පිටත හිටගෙන පන්දුවට පහර දෙන්නේ නැත්තේ ඇයි කියලා. ‘ඇයි ඔයාට ඒක අමතක වෙලා ද?’ කියලා ඔහු ඇහුවේ. ඉතින් මම නැවතත් nets වලට ගිහිල්ලා විනාඩි 40ක් වගේ crease එකෙන් පිටත හිටගෙන පන්දුවට පහර දෙමින් ආයෙත් පුහුණුවීම් කළා. ඒකෙන් මට එවෙලේ ලොකු වෙනසක් දැනුනා.” 

ඉන්දියාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමට පෙර Shastri 2014 වසරේ දී මාස 8ක කාලයක් සඳහා ඉන්දීය කණ්ඩායමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරනු ලැබූ අතර එහි දී ඉන්දියාව එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු සංචාරවලට අමතරව 2015 ලෝක කුසලාන තරගාවලිය ද ක්‍රීඩා කරන්නට විය. 

සෆ්රාස්ගේ අනාගතය ගැන පුහුණුකරුගෙන් අනාවැකි

ඒ අනුව Kohli අසාර්ථක වූ 2014 එංගලන්ත සංචාරයෙන් අනතුරුව පැවති ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ දී සමස්ත ලකුණු 692ක් වාර්තා කරගනිමින් ඔහු නැවතත් ඉහළ දක්‍ෂතා අතරට පැමිණෙන්නට සමත් විය. 

www.hindustantimes.com වෙබ් අඩවියේ පළවූ ලිපියක පරිවර්තනයකි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<