මොරටු මහා රන් සංග්‍රාමය ජය-පරාජයෙන් තොරයි

72 වැනි මොරටු මහා රන් සංග්‍රාමය

319

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වේල්ස් කුමාර විද්‍යාලය අතර පැවති 72 වැනි මොරටු මහා රන් සංග්‍රාමය දෙදින ක්‍රිකට් තරගය අද (28) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී අවසන් වුනේ ජය-පරාජයෙන් තොරවයි.

ඒ අනුව ඉතිහාසයේ 62 වැනි වරටත් මොරටු මහා සංග්‍රාමය ජය-පරාජයෙන් තොරව නිමා වුනත්, යළිත් වරක් එහි පළමු ඉනිමේ වැඩි වාසිය දිනා ගන්නට සමත් වූයේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයයි.

තරගයේ පළමු දිනය වූ ඊයේ දිනය අවසන් වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත සෙබස්තියානුවන් කඩුලු 6ක් දැවී ලකුණු 120ක් ලබා ගනිමින් තරමක් අසීරු තත්වයක පසුවුනා. ප්‍රතිවාදී වේල්ස් කුමරුවන් ඔවුන්ගේ පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 149ක් පමණයි.

අද දිනය තුළ කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර දිනයේ යොමු කළ දෙවැනි පන්දුවාරයේ දී ම ඒ වන විට කඩුල්ලේ ස්ථාවරව පන්දුවට පහර දෙමින් සිටි රයන් දිසානායක දැවී යන්නට වුනා. ලකුණු 55ක් රැස්කරගෙන සිටි ඔහුගේ කඩුල්ල දවා ගන්නට සමත් වුනේ දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක මිහිරු ධනංජයයි.

සාන්ත සෙබස්තියානු ලකුණු පුවරුව ලකුණු 126ක් ලෙස දැක්වෙන විට ඔවුන්ගේ 8 වැනි කඩුල්ල ද බිඳ වැටුණේ ප්‍රින්ස් ප්‍රනාන්දු යොමු කළ පන්දුවක් හමුවේ නදීෂ් ප්‍රනාන්දු ලකුණු 4කට කඩුල්ල මුවාකිරීමේ වරදට හසු වී දැවී යාමත් සමඟයි.

කෙසේ නමුත් ඉන් අනතුරුව කේසර මධුෂංක සමඟින් පිටියේ එක්වූ මනුජ චන්තුක ඉතා සූක්‍ෂමව පන්දුවට පහර දෙමින් නැවතත් සාන්ත සෙබස්තියානු ඉනිම ගොඩනඟන්නට වුනා. ඒ අනුව ඔවුන් දෙදෙනාගේ සබඳතාවය සාන්ත සෙබස්තියානුවන් හට ප්‍රතිවාදී වේල්ස් කුමර පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව සාර්ථකව පසුකර යන්නට මඟපෑදුවා.

සාන්ත සෙබස්තියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා නියමිත පන්දුවාර 60 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 158ක් වාර්තා කරගෙන සිටිය දී ඔවුන්ගේ ඉනිම අත්හිටුවනු ලැබීය.

දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි වේල්ස් කුමර ආරම්භක පිතිකරුවන් වූ නායක තරිඳු අමරසිංහ සහ රිවිත් ජයසූරිය දෙදෙනා ම ලකුණු 32ක් වන විට නැවතත් ක්‍රීඩාගාරය බලා හරවා යවන්නට දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක සංදේෂ් ප්‍රනාන්දු සමත් වුනා.

ඉදිරිපෙළ අනෙක් පිතිකරුවන් හට ද කඩුල්ලේ ස්ථාවර වීමට කිසිදු අවකාශයක් ලබා නොදුන් සංදේෂ් විසින් තවදුරටත් සුවහස් ප්‍රනාන්දු සහ ඔමේෂ් මෙන්ඩිස්ගේ කඩුලු ඉක්මනින් දවා ගනු ලැබුවේ වේල්ස් කුමර කණ්ඩායම ලකුණු 52කට කඩුලු 4ක් දැවී ඉතා අසීරු තත්වයකට ඇද දමමින්.

කෙසේ නමුත් අනතුරුව අෂේන් ශානක සමඟින් පිටියේ එක්වූ සුමල්ක ප්‍රනාන්දු 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 80ක ඉතා විශිෂ්ට සබඳතාවයක් එක්කරමින් වේල්ස් කුමර ඉනිම ගොඩනඟන්නට සමත් වුනා.

එහි දී ප්‍රතිවාදී පන්දු යවන්නන් හට පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ සුමල්ක තීරණාත්මක අර්ධ ශතකයක් වාර්තා කර ගනු ලැබුවා. ඔහුට අනෙක් අන්තයේ සිට මනා සහයක් ලබා දුන් අෂේන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 34ක්. යළිත් ක්‍රියාත්මක වූ සංදේෂ් විසින් අෂේන් ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ එම සබඳතාවය අවසන් වුනා.

පසුව පිටියට පිවිසි උපනායක විදත් දිනේන්ද්‍ර ලකුණකට දැවී යද්දී ඔවුන්ගේ 7 වැනි කඩුල්ල ලෙස සුමල්ක ලකුණු 68කට දැවී යන්නට වුනා. ඔහුගේ ඉනිම හතරේ පහරවල් 7කින් හා 1 හයේ පහරකින් වර්ණවත් වුනා. එම කඩුලු දෙකට ම හිමිකම් කීවේ දකුණත් මද වේගපන්දු යවන ක්‍රීඩක යෂාන් අවිෂ්කයි.

අනතුරුව වේල්ස් කුමර ලකුණු පුවරුව ලකුණු 186ක් ලෙස දැක්වෙන විට 9 වැනි කඩුල්ල දැවී යාමත් සමඟ ඔවුන් සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

එහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සංදේෂ් කඩුලු 5ක් දවා ගනිද්දී අවිෂ්ක කඩුලු 3කට හිමිකම් කියනු ලැබුවා.

ලකුණු 178ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියානුවන්ගේ පළමු කඩුල්ල ලෙස ලකුණු 9ක් ලබා සිටි රවිඳු රොද්‍රිගු දැවී ගියේ ඔවුන්ගේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 11ක් ලෙස සටහන් ව තිබිය දීයි. එම කඩුල්ල දවා ගනු ලැබුවේ දකුණත් මද වේගපන්දු යවන ක්‍රීඩක චෙනුල ප්‍රනාන්දු විසින්.

කෙසේ නමුත් අනතුරුව අවිෂ්ක සමඟින් පිටියේ එක්වූ නායක මහේන් සිල්වා ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ලකුණු 86ක සබඳතාවක් එක්කරන්නට සමත් වුනා.

එහි දී මහේන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් වේගයෙන් අර්ධ ශතකයක් කරා ළඟා වූයේ සිය කණ්ඩායම ඔවුන්ට හිමිව තිබූ සුළු වේලාව තුළ ජයග්‍රාහී සීමාව වෙත රැගෙන යාමට දැඩි උත්සාහයක් දරමින්.

කෙසේ නමුත් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සහිතව ලකුණු 58ක් ලබා සිටිය දී මහේන්ගේ කඩුල්ල ලබා ගන්නට යළිත් ක්‍රියාත්මක වූ චෙනුල සමත් වුනා.

ඔහුට මනා සහයක් ලබා දුන් අවිෂ්ක නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 34ක්.

ඊට සුළු මොහොතකට පසුව විනිසුරුවරුන් විසින් තරගයේ නිමාව සනිටුහන් කරන විට සාන්ත සෙබස්තියානු ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 2ක් දැවී ලකුණු 103ක් ලෙසයි.

ඒත් සමඟම මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වේල්ස් කුමාර විද්‍යාලය අතර පැවති 72 වැනි රන් මහා සංග්‍රාමය දින දෙකක් අවසානයේ ජය-පරාජයෙන් තොරව නිමාවට පත්වුනා. ඒ අනුව මේ මොරටු මහා සංග්‍රාමය ජය-පරාජයෙන් තොරව නිමා වූ 62 වැනි අවස්ථාවයි.

මහා ක්‍රිකට් තරගයට සමගාමීව විද්‍යාල දෙක අතර පැවැත්වෙන එක්දින තරගය හෙට කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගය සුපුරුදු පරිදි Dialog TV නාලිකා අංක 140, Dialog VIU සහ ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව ඔබ වෙත සමීප කෙරෙනු ඇත.

විශේෂ සම්මාන

  • තරගයේ වීරයා – සංදේෂ් ප්‍රනාන්දු (සාන්ත සෙබස්තියන් විද්‍යාලය)
  • හොඳම පිතිකරු – සුමල්ක ප්‍රනාන්දු (වේල්ස් කුමාර විද්‍යාලය)
  • හොඳම පන්දු යවන්නා – සංදේෂ් ප්‍රනාන්දු (සාන්ත සෙබස්තියන් විද්‍යාලය)
  • හොඳම පන්දු රකින්නා – ප්‍රින්ස් ප්‍රනාන්දු (වේල්ස් කුමාර විද්‍යාලය)

වේල්ස් කුමාර විද්‍යාලයීය පළමු ඉනිම: 149 (පන්දුවාර 45.4) – තරිඳු අමරසිංහ 68, රිවිත් ජයසූරිය 28, සුමල්ක ප්‍රනාන්දු 22, සංදීෂ් ප්‍රනාන්දු 4/41, මනුජ චන්තුක 3/16, නදීෂ් ප්‍රනාන්දු 3/34

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පළමු ඉනිම: 158/8 (පන්දුවාර 60) – රයන් දිසානායක 55, සවිඳු රොද්‍රිගු 36, කේසර මධුෂංක 19*, ප්‍රින්ස් ප්‍රනාන්දු 4/43, කුංචන පෙරේරා 2/46

වේල්ස් කුමාර විද්‍යාලයීය දෙවැනි ඉනිම: 186/9 dec (පන්දුවාර 63.1) – සුමල්ක ප්‍රනාන්දු 68, අෂේන් ශානක 34, තරිඳු අමරසිංහ 23, සංදේෂ් ප්‍රනාන්දු 5/78, යෂාන් අවිෂ්ක 3/16

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පළමු ඉනිම: 103/2 (පන්දුවාර 19) – මහේන් සිල්වා 58, යෂාන් අවිෂ්ක 34*, චෙනුල ප්‍රනාන්දු 2/27

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<