සුදීපාගේ මෙහෙයුමට යුද හමුදාව යටත් වෙයි

297
SLC womens T20 finals

අන්තර් සමාජ පළමු කාණ්ඩයේ කාන්තා 20-20 තරගාවලියේ අවසන් මහා තරගය අද නිමාව දුටුවේ අවසන් තරගයකට ඔබින උණුසුම් ක්‍රීඩා විලාශයකින් තොරවයි. මේ තරගාවලියේ පන්දුවාර 20ක් තුළ තමන් වාර්තාකළ අඩුම ලකුණු සංඛ්‍යාවත් ආරක්ෂා කර ගනිමින් යුද හමුදා ක්‍රීඩිකාවන් පරාජය කරන්නට ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: යුද – ගුවන් සෙබළියන් 20-20 අවසන් සටනට

කොළඹ CCC ක්‍රීඩාංගනයේ කාසියේ වාසිය දිනාගත් යුද හමුදා නායිකාව පන්දු යැවීම තෝරා ගන්නා ලදී. ජාතික මට්ටමේ තරු රැසකින් සමන්විත ගුවන් කාන්තාවන්ට පවා CCC තණතීරුව තේරුම් ගැනීම එතරම් පහසු නොවීය. තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය වන චමරි අතපත්තුට අද දිනයේදී සාර්ථක වීමට නොහැකි විය. ඇය පන්දු 30කදී ලබා ගත්තේ ලකුණු 11ක් පමණි. නමුත් යශෝධා මෙන්ඩිස් පිතිකරණයේ වැඩි බරක් කරට ගත්තේ පරීක්ශාකරී ලකුණු 36ක් රැස් කරමිනුයි.

දිලානි මනෝදරා ලකුණු 24ක් ලබාගත් අතර, මුල්පෙළ පිතිකරණයේ මන්දගාමීත්වය හේතුවෙන් ගුවන් හමුදා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුල කඩුලු 6ක් දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 108ක් පමණි. මේ තරගාවලිය තුල පළමුවෙන් පන්දුවට පහර දුන් අවස්ථා වලදී ගුවන් ක්‍රීඩිකාවන් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව මෙයයි.

යුද හමුදාවට තරගයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ පන්දුවාරයකට ලකුණු 5.5කටත් අඩු දළ ලකුණු වේගයක් වුවත්, පිතිකරණයට ඉතා අපහසුවූ CCC තණතීරුවේ වාසිය උපරිමයෙන්ම ලබා ගත්තේ ගුවන් හමුදා පන්දු බලඇණියයි. සුදීපා අතුකෝරාල ප්‍රමුඛ ගුවන් හමුදා පන්දු යවන්නියන් යුද හමුදා පිළිතුරු ඉනිම ලකුණු 33කට සීමා කළේ, අන්තර් සමාජ කාන්තා එක්දින ශූරියන්ට 20-20 තරගාවලියේ අනුශූරතාවෙන් පමණක් සෑහීමට සිදු කරමිනි.

යුද හමුදාවට එල්ලවූ ගුවන් හමුදා පන්දු ප්‍රහාරයේ අණ දෙන නිලධාරිනිය වූ සුදීපා ලකුණු 9කට කඩුලු 5ක් බිඳ හෙලන ලදී. මේ අනුව අවසන් තරගය පන්දුවාර 31ක් තුල අවසන් වුයේ මෙවන් වැදගත් තරගයක් සඳහා පිළියෙළ කෙරුණු තණතිල්ලේ යෝග්‍යතාව පිළිබඳවත් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි.

ගුවන් හමුදා ක්‍රී.ස. කාන්තා A කණ්ඩායම –  108/6 (20): යශෝධා මෙන්ඩිස් – 36, දිලානි මනෝදරා – 24, ශ්‍රීපාලි වීරක්කොඩි – 16, ලක්මාලි මෙත්තානන්ද – 4/27 ෂෙරීනා රවිකුමාර් – 1/12

යුද හමුදා ක්‍රී.ස. කාන්තා A කණ්ඩායම – සියල්ලන් දැවී – 33 (10.5): නිපුනි හංසිකා – 08, සුදීපා අතුකෝරල – 5/09, අමා කාංචනා – 2/09, චමරි පොල්ගම්පොල – 1/04

අන්තර් සමාජ පළමු කාණ්ඩයේ කාන්තා 20-20 තරගාවලියේ අවසන් තරග ප්‍රතිඵලය – ගුවන් හමුදා කාන්තා A කණ්ඩායමට ලකුණු 75ක ජයක්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට