ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකා ටෙස්ට් සංචාරය පස්සට යවයි

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2021

130

පළමු වරට සංවිධාන කරන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා  නවසීලන්ත කණ්ඩායමට මේ වන විට වැඩි අවස්ථාවක් උදා වී තිබෙනවා.

ඒ අප්‍රිකානු මහද්වීපයේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සලකමින් සංචාරක ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට සැලසුම් කර තිබූ ටෙස්ට් තරග තුනකින් යුත් තරගාවලිය කල් දැමීම නිසයි.

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කළ නිරීක්ෂණවලට අනුව අප්‍රිකාවේ කොරෝනා වයිරසයේ දෙවන රැල්ල ඉතාමත් වැඩි වේගයකින් ව්‍යාප්ත වෙමින් යන අතර ඒ අනුව ඔවුන්ගේ නිගමනයට අනුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට මේ තීරණය ලබා ගැනීමට සිදුව තිබෙනවා. ඒ බව ඔවුන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ද දැනුවත් කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ කොරෝනා වසංගත තත්වයේ දෙවන රැල්ල සහ වයිරසයේ නව ප්‍රභේදයක් ව්‍යාප්ත වීම නිසා අපගේ වෛද්‍ය කණ්ඩායම්වල නිගමනවලට අනුව, මේ අවස්ථාවේ දී ඕස්ට්‍රේලියාවේ සිට දකුණු අප්‍රිකාව දක්වා ගමන් කිරීම අවදානම්. මේ තත්වය පාලනය වූ වහාම අපි දකුණු අප්‍රිකාව සමඟ මේ ටෙස්ට් තරගාවලිය නැවතත් පැවැත්වීමට බලාපොරොත්තු වන අතර COVID-19 එන්නත සාර්ථකව ක්‍රියාත්මක කර ඉක්මනින් ඔවුන් යථා තත්ත්වයට වෙනු ඇතැයි අපි විශ්වාස කරනවා” යැයි ක්‍රිකට් ඕස්ට්‍රේලියාවේ අන්තර්වාර ප්‍රධාන විධායක නික් හොක්ලි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සඳහා අදහස් දක්වා තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

ඒ අනුව අදාළ ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට පෙර පැවැත්වීමට නොහැකි වුවහොත්, තරගාවලියේ අවසන් තරගය සඳහා නවසීලන්තය සුදුසුකම් ලබනවා.

ඔවුන් සමඟ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් මේ වන විට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර සටනක් නිර්මාණය වී තිබෙනවා.

පවතින තත්ත්වය අනුව එළඹෙන ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ ප්‍රතිඵලය මත ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් තරගයට ක්‍රීඩා කරන අනෙක් කණ්ඩායම තීරණය වනු ඇත. ඒ අනුව ඉන්දියාවට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම්, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලියෙන් ඉන්දීය කණ්ඩායම තරග 2-0, 2-1, 3-0, 3-1 හෝ 4-0ක් ලෙස ජය ගත යුතු වෙනවා.

එංගලන්තය අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඔවුන් අදාළ ටෙස්ට් තරගාවලිය තරග 3-0, 3-1 හෝ 4-0ක් ලෙස ජය ගත යුතු වනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලිය ඉන්දියාව 1-0ක් ලෙස හෝ එංගලන්තය තරග 1-0ක්, 2-0ක් හෝ 2-1ක් ලෙස ජය ගත යුතුයි.

එමෙන්ම අදාළ ටෙස්ට් තරගාවලිය තරග 0-0ක්, 1-1ක් හෝ 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් ද ඕස්ට්‍රේලියාවට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වන්නේ නැහැ. ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගය මේ වසරේ ජුනි 18 සිට 22 දක්වා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ වත්මන් ප්‍රසාද ලකුණු සටහන,

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<