කොරෝනා මාරයාගෙන් Moeen Ali ගැලවුණු හැටි

206

2021 වසරේ පළමු තරග සංචාරය ලෙස එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර ශ්‍රී ලංකාවට පැමිණි පසුව COVID-19 වැළඳී ඇතැයි තහවුරු වූ නිසා Moeen Aliට එම සංචාරයේ කිසිදු තරගයක් ක්‍රීඩා කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. 

මාස 18ක විරාමයකින් අනතුරුව ඔහු නැවතත් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන්නට බලාපොරොත්තුවෙන් සිටි අතර මේ පිළිබඳ ඔහුගේ අත්දැකීම් මාධ්‍ය සමඟ බෙදාගනිමින් “අවංකවම කියනවා නම් වෙන කාටවත් මේ රෝගය හැදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නේ නැහැ” යැයි Moeen Ali, Cricbuzz වෙත පවසා තිබුණා. 

කෙසේ වෙතත් Moeen Ali මේ වන විට එම රෝගී තත්වයෙන් සුවය ලබා ඇති අතර ඔහුට රෝගය වැළඳුණේ කෙසේ ද යන්න තවමත් අබිරහසක්. ඔහුව සමීපව ඇසුරු කළ Chris Woakesට වයිරසය වැළඳී නැති අතර Aliගේ හෝ Woakesගේ පවුල්වල කිසිවෙකුටවත් වයිරසය වැළඳී නැහැ. 

“මම හිතන්නේ මට රෝගය වැළඳුණේ ගුවන්තොටුපොළේ දී හෝ ගුවන් යානයේ දී, මගේ පවුලේ කාටවත් ඒ රෝගය වැළඳී නැහැ ඒ වගේම Woakesටත් වැළඳී නැහැ. ඒ නිසා මම හිතන්නේ ගුවන්තොටුපොළේ දී හෝ ගුවන් යානයේ දී තමයි.” 

“මට කිසිම අමාරුවක් දැනුණේ නැහැ. මම ගෙදරින් එනකොටත් සුවෙන් හිටියා. මම ගුවන්තොටුපොළට එනකොටත් අපහසුවක් තිබුණේ නැහැ. මම ගුවන් යානයේ දී නිදා ගත්තේ නැහැ, නමුත් සවස මට පොඩි හිසරදයක් තිබුණා. මට COVID-19 පරීක්ෂණයෙන් ධනාත්මක ප්‍රතිඵලයක් ලැබුණා. මම පුදුම වුනේ නැහැ. මොකද මම ශ්‍රී ලංකාවට ගොඩ බැහැපු වෙලාවේ මට එතරම් සුවයක් තිබුණේ නැහැ.”

තවත් ක්‍රිකට් පුවත්:

“මට රස දැනුණේ නැහැ දවසක් දෙකක් වගේ, දින තුනක් වගේ හිසේ කැක්කුම දිගටම තිබුණා. ඇඟට එතරම් පණක් තිබුණේ නැහැ. මට ජීවිත කාලයේම එහෙම මහන්සියක් දැනිලා නැහැ. දින තුනක් වගේ තමයි ඒ වගේ අමාරුවක් තිබුණේ. හොඳ වෙලාවට මට උණ හෝ කැස්ස තිබුණේ නැහැ.”

Ali සති දෙකක හුදකලා නිරෝධායන කාලයක් ගත කළා. ඔහු පවසා සිටියේ ඒ අභියෝගය තමන් ජය ගත්තේ කෙසේ ද කියා ඔහුට විශ්වාස නැති බවයි. “දින 14 හරිම හෙමින් තමා ගෙවුණේ. අවසන් දින හතර බොහොම අමාරු වුනා. ඒ මට හොඳ වුනත් මම කාමරේම සිර වෙලා සිටි නිසා. ඒක හරිම අපහසු අත්දැකීමක්. කොහොම හරි මම ඒ අභියෝගය ජය ගත්තා.”

නිරෝධායන කාලසීමාවේ දී Moeen කියවීමට, පරිගණක ක්‍රීඩාවලට හා පවුලේ අයට හා හිතමිතුරන්ට කතා කිරීමට කාලය ගත කළ බව ඔහු පවසා සිටිනවා. අනෙක් එංගලන්ත ක්‍රීඩකයින් හා නිලධාරීන් නිතරම ඔහු පිළිබඳ සොයා බැලූ බව ඔහු පවසා සිටිනවා.

ඉන්දියාව සමඟ මීළඟ සතියේ දී පැවැත්වෙන ටෙස්ට් තරගයට Moeen Ali තෝරා ගනීවි දැයි තවමත් නිශ්චිත නැහැ. Ben Stokes හා Jofra Archer මෙන්ම ඔහුටත් තරග පෙර පුහුණුවීම්වලට සහභාගී වීමට ලැබුණේ නැහැ. “මම හොඳින් ඉන්නවා. මම සාමාන්‍ය විදිහට පුහුණුවීම් කළා. පුහුණු සැසි පහක හෝ හයකට මම සහභාගී වුනා. ශ්‍රී ලංකාවත් සමඟ දෙවන ටෙස්ට් තරගයේ දී මම හැමදාම පුහුණුවීම් කළා.”

“නිරෝධායනයෙන් එළියට ආවම මම පොඩ්ඩක් පරිස්සම් වුනා මොකද COVID-19 නිසා හදවතට ටිකක් බලපෑම් වෙන්න පුළුවන්, දුවනකොට හද ගැහෙන වේගය වැඩි වෙන්න පුළුවන් අනවශ්‍ය විදියට. නමුත් මට හිතෙන විදියට මම දැන් හොඳින්. නමුත් මට තරග පුහුණුවීම් නැහැ.”

2019 වසරේ Edgbaston හි පැවැත්වුණු අළුබඳුන කුසලානයේ පළමු තරගය ඔහු අවසන් වරට ක්‍රීඩා කළ තරගයයි. 2018 -19 කාලසීමාවේ එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වුනත් ඔහුට ඉන්පසුව ක්‍රීඩා කරන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<