වසර 87කට පසු රංජි කුසලානය අවලංගු වෙයි

241

ඉන්දියානු දේශීය ක්‍රිකට් පිටියේ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන රංජි කුසලාන ක්‍රිකට් තරගාවලිය වසර 87ක ඉතිහාසයේ මුල්ම වරට අවලංගු කිරීමට එහි සංවිධායකයින් තීරණය කර ඇත.

කොරෝනා වසංගතය නිසාවෙන් මෙම තීරණය ගැනීමට ඔවුන් තීරණය කර ඇති අතර එම නිසාවෙන් 2021 ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට තේරී පත්වීමට නොහැකි වූ 800කට ආසන්න ඉන්දීය පළමුපෙළ ක්‍රීඩකයන්ට ඉමහත් පාඩුවක් වනු ඇත.

එම නිසාවෙන් ඔවුන්ගේ දේශීය ක්‍රීඩා පිටියේ මීළඟ තරගාවලිය ලෙස Vijay Hazare Trophy එක්දින තරගාවලිය පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර එම තරගාවලිය මේ දිනවල දී පැවැත්වෙන Syed Mushtaq Ali කුසලාන තරගාවලියට සමාන ආකාරයකින් පැවැත්වීමට නියමිතව ඇත.

ජනවාරි මාසයේ පැවති Apex කවුන්සිලයේ සභා රැස්වීමේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී Sourav Ganguly විසින් මෙම වසරේ රංජි කුසලාන තරගාවලිය පැවැත්වීමට හැකි වේ යැයි ප්‍රකාශ කර නමුත් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ගණන සහ තරග දින ගණනේ ප්‍රමාණය නිසාවෙන් මෙම තීරණය ගැනීමට ඔවුන් කටයුතු කර තිබුණි.

මෙම තරගාවලියේ කල්දැමීම සහ ඉදිරි තරගාවලි පිළිබඳව දැනුම් දෙමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ මෙම වසර තුළ දී කාන්තා ප්‍රවීණ එක්දින තරගාවලිය, Vijay Hazare කුසලානය සහ Vinoo Mankad කුසලානය පැවැත්වීමට නියමිතව ඇති බවයි.

තවත් ක්‍රිකට් පුවත්:

මෙවර රංජි කුසලානය අවලංගු කිරීමට ගත් තීරණය නිසාවෙන් ක්‍රීඩකයන් හට මාස 18කට ආසන්න කාලයක් දිගු දින ක්‍රිකට් තරගයන්හී නිරත වීමට නොලැබීම පිළිබඳව අදහස් දක්වමින් ප්‍රාන්ත පුහුණුකරුවෙකු ප්‍රකාශ කර සිටියේ මෙම තීරණය එතරම් හොඳ තීරණයක් නොවන බවයි.

“ක්‍රීඩකයන්ට මගහැරෙන්නේ මෙම තරග වාරය පමණක් නෙවෙයි, මෙම දිගු විවේකයකින් පසුව මීළඟ තරග වාරයේ දී ඔවුන්ට තරග වැදීම මානසික සහ කායික ද්විත්වයෙන්ම ඉතාමත් අපහසු වෙයි” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

එම ප්‍රකාශය තරමක් දුරට නිවැරදි බව පසුගිය ඉන්දියානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර දී තහවුරු වූ අතර එම තරගාවලිය අතර වාරයේ දී ඉන්දීය ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ලක්වනු දක්නට ලැබුණි.

සිය ප්‍රධාන පෙළේ තරගාවලියක් කල්දැමීමට සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය තේරීම් කමිටු සාමාජිකයෙකු ප්‍රකාශ කර තිබුණේ මෙම කාලසීමාව සෑම දෙයක්ම පාහේ සීමා කිරීමට සිදු වන කාලසීමාවක් බවයි.

“Vijay Hazare කුසලාන තරගාවලිය ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරන ක්‍රීඩකයන් හට සිය රිද්මය පවත්වා ගැනීමට උපකාරී වෙයි. ඒ වගේම කාන්තා එක්දින තරගාවලිය සහ අවුරුදු 19න් පහළ Vinoo Mankad කුසලාන තරගාවලිය ඉදිරියේ දී පැවැත්වෙන ලෝක කුසලානයන් හට සූදානමක් ලබා ගැනීමට උපකාරී වෙයි” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් ඉන්දියානු ක්‍රීඩක සංගමයේ ප්‍රධානී Ashok Malhotra ප්‍රකාශ කර සිටියේ ජීවනෝපාය පිළිබඳ කෝණයෙන් බලනා විට මෙම රංජි කුසලාන තරගාවලිය ක්‍රීඩකයන් හට ඉතාමත් වැදගත් තරගාවලියක් බවයි.

“මම විශ්වාස කරනවා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම ක්‍රීඩකයන් හට වන්දි හෝ සහනයක් ලබා දෙයි කියලා. නමුත් දින හතරක තරගවලින් සමන්විත තරගාවලියක් සඳහා ජෛව ආරක්ෂිත බුබුලක් සැකසීම අපහසු මෙන්ම විශාල කාලයක් ගත වෙන කටයුත්තක් වගේම ඒක මානසික වශයෙන් විශාල අභියෝගයක් එල්ල කරනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<