ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් ගැටුමට නැවතත් රතු එළියක්

267

එක්සත් රාජධානිය තුළ කොරෝනා වසංගතයේ නව ප්‍රභේදයක් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම නිසාවෙන් ලබන වසරේ ජනවාරි මාසයේ මෙරට දී පැවැත්වීමට නියමිතව ඇති එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය නැවත වරක් අවලංගු වීමේ අවදානමකට ලක්ව ඇත.

එම කොරෝනා වසංගතයේ නව ප්‍රභේදය එක්සත් රාජධානිය තුළ ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වීමෙන් ලන්ඩන් නුවර ඇතුළු ගිනිකොන බ්‍රිතාන්‍යයට වැඩි බලපෑමක් එල්ල කිරීම නිසාවෙන් රටවල් 40කට අධික ප්‍රමාණයක් එක්සත් රාජධානියේ සිට සිය රටවලට ඇතුළු වීම තහනම් කිරීමට කටයුතු කර තිබුණි.

එම තත්වය සැලකිල්ලට ගනිමින් එම නව වයිරස ප්‍රභේදය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් හෙට (21) අලුයම 2.00 සිය එක්සත් රාජධානියේ සිට පැමිණෙන සියලූම ගුවන් සේවාවන් මෙරටට පැමිණීම තහනම් කිරීමට අද (22) තීරණය කරන ලදි.

ලෝක ටෙස්ට් ශූරතාව යටතේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස 02 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබූ අතර තරගාවලිය නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව ජනවාරි මස 14 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වීමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත්: 

එනමුත් එක්සත් රාජධානියේ මේ දිනවල මතුව ඇති තත්වය සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යෙදූ ගුවන් ගමන් තහනම නිසාවෙන් එම තරගාවලිය නැවත වරක් කල් දැමීමේ හෝ අවලංගු කිරීමේ අවදානමකට ලක්ව ඇත.

කෙසේ නමුත් තරගාවලිය කල්දැමීමක් හෝ අවලංගු කිරීමක් පිළිබඳව දෙරටේ ක්‍රිකට් පරිපාලන ආයතන විසින් මේ දක්වා කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.

අන්තර්ජාතික ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය මෙම වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් මෙරට තුළ ඇතිවූ කොරෝනා වසංගත තත්වය නිසාවෙන් එම තරගාවලිය කල් දැමීමට සිදු විය.

පසුව දෙරටේ ක්‍රිකට් බලධාරීන් හා සෞඛ්‍ය අංශ අතර සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව එම තරගාවලිය අදාළ නිරෝධායන නීති අනුගමනය කරමින් 2021 ජනවාරි මාසයේ දී පැවැත්වීමට තීරණය කළ නමුත් මෙම තත්වය මත තරගාවලිය නැවතත් අවිනිශ්චිතතාවට පත්ව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<