ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ටෙස්ට් සටනකට සැරසෙයි

97
(DNA India)

තරග හතරකින් සමන්විත ඉන්දියා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය මේ වසරේ අවසන් භාගයේ දී පැවැත්වීමට නියමිත අතර එහි පළමු ටෙස්ට් තරග ඇඩිලේඩ් හිදී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වෙනු ඇත. 

දෙමසකට ආසන්න ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරය එක්දින තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියෙන් ආරම්භ වන අතර පසුව ඇඩිලේඩ් හිදී තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් ද පැවැත්වෙනු ඇත. අනතුරුව පළමු ටෙස්ට් තරගය ඇඩිලේඩ් හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර එම තරගය සඳහා තවමත් දේශීය බලධාරීන්ගෙන් අවසරය හිමි වී නැහැ.

මෙම දිවා රාත්‍රී ටෙස්ට් තරගය ඉන්දීය කණ්ඩායම ඉන්දියාවෙන් පිටත දී ක්‍රීඩා කරන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයයි. දෙසැම්බර් 17 හා 21 අතර එම තරගය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. සම්ප්‍රදායික බොක්සිං දින ටෙස්ට් තරග දෙසැම්බර් 26 සිට 30 දක්වා මෙල්බර්න් හිදී පැවැත්වීමට නියමිත අතර තෙවැනි ටෙස්ට් තරගය සිඩ්නි හිදීත්, අවසන් ටෙස්ට් තරගය බ්‍රිස්බේන් හිදීත් පැවැත්වීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත්: 

නොවැම්බර් 10 වැනිදා ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව ඉන්දීය ක්‍රීඩකයින් කෙළින්ම බ්‍රිස්බේන් කරා යාමට නියමිතයි. ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නොවැම්බර් 25 සිට 30 දක්වා කාලයේ දී එක්දින තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර දෙසැම්බර් 4-8  කාල රාමුව විස්සයි විස්ස තරගාවලියට වෙන් කර තිබෙනවා. ඇඩිලේඩ් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට පෙර ඉන්දීය කණ්ඩායම දිවා රාත්‍රි පුහුණු තරගයක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම තරග කාලසටහනට ඉන්දියානු හා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන දෙකම කැමැත්ත පල කර තිබුනත්, ඔවුන් එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත්තේ තවමත් ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත බලධාරීන් තරග පැවැත්වීමට අවසර ලබා දී නැති නිසයි. ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තවමත් ඕස්ට්‍රේලියාවට පිටතින් පැමිණෙන පුද්ගලයින්ට නිරෝධායනයෙන් තොරව එම ප්‍රාන්තයට ඇතුළු වීමට අවසර ලබා දී නැහැ.

මේ වන විට ක්වීන්ස්ලන්ඩ් වෙත පැමිණෙන සියලු දෙනා දින 14ක අනිවාර්ය නිරෝධායනයකට ලක් විය යුතුයි. ඉන්දු – ඕස්ට්‍රේලියා තරගාවලිය නොවැම්බර් 25 වැනිදා ආරම්භ වන නිසා කණ්ඩායම දෙකම නිරෝධායන කාලසීමාව පුහුණුවීම් සඳහා යොදා ගැනීමට සිය කැමැත්ත පළ කර තිබෙනවා. කෙසේ වෙතත් ක්වීන්ස්ලන්ඩ් රජය තවමත් එයට අනුමැතිය ලබා දී නැහැ.

Cricinfo ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<