වෝන් – මුරලි කුසලානයේදී මුරලිගේ සහයත් ඔස්ට්‍රේලියාවට

1107
Australia tour Sri Lanka 2016 press conference

ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය විශාල අභියෝගයක් වුවත්, තම කණ්ඩායම ඊට හොඳින් සූදානම් වෙමින් සිටින බව ඇන්ජලෝ මැතිව්ස් පවසයි. ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරග සංචාරයේ ආරම්භයට පෙර දෙරටේ නායකයන් සහ පුහුණුකරුවන්ගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මැතිව්ස් මේ අදහස් ප්‍රකාශ කලේය.

පසුගිය ලිපි: සම්මුගේ දක්ෂ ඉණිමෙන් තරගාවලි ජය තරුණ සිංහයන්ට

වසර 5 කට පසු ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නියුතු ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙරටදී ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 5ක් සහ 20-20 තරග 2ක් සදහා සහභාගී වීමට නියමිතයි. මෙම තරග සංචාරයේ ජාත්‍යන්තර තරග වෝන් – මුරලි කුසලානය සඳහා පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් අැරඹේ.

දෙරටේ අති විශිෂ්ට ක්‍රීඩකයන් දෙපලකගේ නමින් මෙම කුසලානය නම්කර තිබුනත්, කුසලානයේ ශ්‍රී ලංකා නියෝජනය වන මුත්තයියා මුරලිදරන්ගේ සහය මේ තරගාවලිය තුළදී හිමිවන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමටයි. එනම් මුරලි මෙම තරගාවලියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දඟ පන්දු උපදේශක ලෙස සේවය කරනවා.

“ඔහුට ඇති අත්දැකීම් මැනිය නොහැකි තරම් විශාලයි, ඔහු මේ දේශගුණ තත්ත්වයන් තුළදී ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාවත් ඇති විශාලයි. මුරලි අපේ  උපදේශකයෙක් ලෙස දඟ පන්දු යවන්නන් සමග වැඩ කරනවා. එය අපිට විශාල ශක්තියක්.” ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් පැවසීය.

පසුගිය ලිපි: ඕස්ට්‍රේලියානුවෝ කලින්ම ලංකාවට එති

මුරලිගේ මෙන්ම තිලාන් සමරවීරගේ උපදේශකත්වයද සංචාරක කණ්ඩායමට හිමිවීම පිලිබඳ ඇන්ජලෝ මැතිව්ස් සිය අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ,

“අපිට ඒවා (මෙරට හිටපු ක්‍රීඩකයන් විදෙස් කණ්ඩායම් වල පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීම) පාලනය කරන්න බැරි දේවල්. ඒ අයගේ දායකත්වයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පුළුවන් උපරිමයෙන්ම තරගයට සූදානම් වෙනවා. නමුත් කණ්ඩායමක් වශයෙන් අපි මේ උප මහද්වීපික තත්ත්වයන් වල ක්‍රීඩා කරන්න අවශ්‍ය විදිහ දන්නවා”

මෙරටදී ක්‍රීඩා කරන ආකාරය දැන සිටියත් දීර්ඝ එංගලන්ත තරග සංචාරයකින් පසු මෙරට උෂ්ණත්වයට නැවත හැඩගැසීම අභියෝගයක් බවත් මැතිව්ස් වැඩි දුරටත් පැවසීය. එංගලන්ත සංචාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කණ්ඩායමක් ලෙස නැවත පුහුණුවීම් ආරම්භ කර ඇත්තේ අද දිනයේදීයි.

ඡායාරූප ඇල්බමය

” අපි අද පුහුණුවීම් ආරම්භ කළා. හොඳ සූදානමක් තියනවා, නමුත් ජයග්‍රහණය සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග හොඳට ක්‍රීඩා කරන්න අපිට සිද්ධ වෙනවා ” යැයි මැතිව්ස් පවසයි.

කෙතරම් ප්‍රභල කණ්ඩායමක් වුවත් ඔස්ට්‍රේලියානුවන් මේ තරගාවලියට සූදානම් වීම කෙරෙහි යොමු කර ඇති අවධානය පිලිබඳ ඔවුන්ගේ පුහුණුකරු ඩැරන් ලීමන් හෙළි කළේ,

“අපි තරගාවලියට සෑහෙන වේලාසනින් ශ්‍රී ලංකාවට ආවේ මෙහෙ තත්ත්වයන්ට හුරුවෙන්න කාලය ඇතිවයි. මුරලිගෙන් ලැබෙන අත්දැකීමුත් අපේ කණ්ඩායමට ඉතා වැදගත්. අපි දිනෙන් දින මේ රටේ තත්ත්වයන්ට හැඩගැහෙනවා. කණ්ඩායමත් දිනෙන් දින දියුණුවෙනවා.” යැයි ප්‍රකාශ කර සිටියේය.

FIXTURE Sri Lanka vs Australia - Press Conference Article

එංගලන්ත තරග සංචාරයේදී ආබාධයන්ට ලක්වූ වේග පන්දු යවන්නන් කිසිවෙක් තවමත් පූර්ණ සුවය ලබා නොමැති බව මැතිව්ස් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණ කල අතර. දුෂ්මන්ත චමීරට සම්පූර්ණ තරගාවලියම අහිමි වන නමුත් ධම්මික ප්‍රසාද් නුදුරු දිනයකදී තම පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. කෙසේ වෙතත් දඟ පන්දු යවන්නන්ට වැඩි වාසි ඇති මෙරට තණ තීරු වලදී ජෙෆ්රි වැන්ඩර්සේගේ අබාධය ශ්‍රී ලංකාවට වැඩියෙන් බලපානු ඇත. වැන්ඩර්සේ මෙම තරගාවලියට සහභාගී වීමද පවතින්නේ ඉතා අවිනිශ්චිත තත්ත්වයක බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා මෙහිදී පැවසීය.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය තවමත් නම් කර නොමැත. ක්‍රීඩකයන් රැසක් ආබාධ සමග සටන් වදින අවස්ථාවක, සංචිතයක් නම් කිරීම තේරීම් කමිටුව හමුවේ ඇති විශාල අභියෝගයකි. කෙසේ වෙතත් තවත් සති දෙකක පමණ කාලයක් පුරා මෙරට හිටපු ක්‍රීඩකයන්ගේද සහය ඇතිව පුහුණු වන ඔස්ට්‍රේලියානුවන්ට අභියෝග කරන්නට නම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේ සහ තේරීම් කමිටුව ඇතුළු ක්‍රිකට් බලධාරීන්ගේද උපරිම වෙහෙස දැරීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 26 වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝව