ඕස්ට්‍රේලියානුවෝ කලින්ම ලංකාවට එති

386
Australia Sri Lanka Cricket

ටෙස්‌ට්‌ තරග 3 කට, එක්‌දින තරග 5 කට සහ විස්‌සයි/20 තරග 2 කට සහභාගිවීම සඳහා ලොව අංක එකේ ටෙස්‌ට්‌ කණ්‌ඩායම වන ඕස්රේලියායානු ක්‍රිකට්‌ කණ්‌ඩායම අද (09 දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

දෙරට අතර වූ තරගාවලිය ආරම්භ වන්නේ ලබන 26 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගයෙන් වුවත් සති 2 කටත් වඩා වැඩි කාලයක්‌ ඉතිරිව තිබියදී ඕස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකාවට පැමිණීම විශේෂත්වයක්‌ වේ. එමෙන්ම අදාළ කාල සීමාවේදී ඔවුන් සහභාගිවන්නේ එක්‌ තුන්දින පුහුණු තරගයකට පමණක්‌ වීමද කැපී පෙනෙයි.

ටෙස්‌ට්‌ තරගවල මෙන්ම එක්‌දින තරග වලද ලොව අංක 1 කණ්‌ඩායම ලෙස සැලකෙන ඕස්ට්‍රේලියානු කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 5 ක කාලයකින් පසුව වන අතර සංචාරක පිල තුන් ඉරියව් ක්‍රීඩක ස්‌ටීවන් ස්‌මිත් විසින් මෙහෙයවනු ලබයි.

දෙරට අතර ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේදී ශ්‍රී ලංකාව සිය මව්බිමේදී ඔ්ස්‌ට්‍රේලියා පිල 13 වතාවක්‌ මුණ ගැසී තිබෙන අතර ඉන් 6 වතාවකදී ජයග්‍රහණ අත්කර ගැනීම ඕස්ට්‍රේලියාව සමත්ව සිටියි. ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත්ව ඇත්තේ 1999 වසරේදී පැවැති ටෙස්‌ට්‌ තරගයක්‌ පමණක්‌ වන අතර සෙසු තරග 6 ම ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබේ.

ටෙස්‌ට්‌ අංශයේ ජයග්‍රහණ අතින් ඔ්ස්‌ට්‍රේලියාව ඉදිරියෙන් පසුවුවද එක්‌දින සහ විස්‌සයි/20 තරගවල වැඩි ගෞරව අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ. මෙහිදී දෙරට අතර පවත්වා ඇති එක්‌දින තරග 25 න් තරග 13 ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන අතර ඔ්ස්‌ට්‍රේලියාව තරග 09 ක්‌ පමණක්‌ ජය ගෙන තිබේ. දෙරට අතර මෙතෙක්‌ විස්‌සයි/20 තරග 2 ක්‌ පවත්වා තිබෙන අතර එම තරග 2 ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමතව ඇත.

ඕස්ට්‍රේලියානු පිල ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නවසීලන්තය සමග පැවැති තරග 2 කින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වන අතර ශ්‍රී ලංකාව අවසන් වරට එංගලන්තය සමග තරග වැදි ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි/20 තුන්වැදෑරුම් තරගාවලිම පරාජයට පත්විය. එංගලන්තය හමුවේ ලද පරාජයත් සමග ශ්‍රී ලංකා පිල ටෙස්‌ට්‌ අංශයේ 7 වැනි ස්‌ථානයේද එක්‌දින අංශයේ 6 වැනි ස්‌ථානයේද විස්‌සයි/20 අංශයේ 08 වැනි ස්‌ථානයේද ශ්‍රේණිගත කිරීම්වල පසුවේ.

ඕස්ට්‍රේලියානු කණ්‌ඩායම – ස්‌ටීවන් ස්‌මිත්(නායක), ඩේවිඩ් වෝනර්, ජැක්‌සන් බර්ඩ්, ජෝ බර්න්ස්‌, නේදන් නයිල්, ජොස්‌ හැස්‌ල්වුඩ්, මොයිසස්‌ හෙන්රිකස්‌, උස්‌මාන් කවාජා, නේතන් ලයන්, මිචෙල් මාෂ්, ෂෝන් මාෂ්, පීටර් නෙවිල්, ස්‌ටීවන් ඕකී, මිචෙල් ස්‌ටාර්ක්‌, ඇඩම් වෝග්ස්‌, ඩැරන් ලීමන්(පුහුණුකරු)