නවකයන් කිහිපයක් දෙනෙක් ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට

276
Pucovski, Green

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන මස ආරම්භයේ දී පැවැත්වීමට නියමිතව ඇති ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ 17 දෙනෙකුගෙන් යුත් ඕස්ට්‍රේලියානු සංචිතය සඳහා Will Pucovski සහ Cameron Green ඇතුළු නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඇතුළත් කිරීමට එරට තේරීම් කමිටුව තීරණය කර ඇත.

ඒ අනුව Will Pucovski සහ Cameron Greenට අමතරව වේගපන්දු යවන ක්‍රීඩකයන් වන Sean Abbott, Michael Neser සහ දඟපන්දු යවන ක්‍රීඩක Mitchell Swepson ද සංචිතය සඳහා ඇතුළත් කිරීමට එම බලධාරීන් තීරණය කර තිබුණි. 

මෙලෙස ක්‍රීඩකයන්ගේ ඇතුළත් වීම පිළිබඳව අදහස් දැක්වූ එරට තේරීම් කමිටු සාමාජික Trevor Hohns ප්‍රකාශ කර සිටියේ මෙවර Sheffield Shield තරගාවලියේ මූලික වටයේ දී ඉතා ඉහළ දස්කම් දක්වන නවක ක්‍රීඩකයන් රැසක් දක්නට ලැබුණ බවත්, ඔවුන් අතරින් ප්‍රතික්ෂේප කළ නොහැකි මට්ටමේ දස්කම් දැක්වූ Pucovski සහ Cameron වැනි ක්‍රීඩකයන් මෙම සංචිතයට ඇතුළත් කිරීමට ලැබීම පිළිබඳව සතුටට පත්වන බවයි.

මේ වන විට 22 වැනි වියේ පසුවන Pucovski මේ දිනවල ඉහළ පිතිකරණ රිද්මයක සිටිමින් Sheffield Shield තරගාවලියේ තරග දෙකක් තුළ ලකුණු 495ක් රැස්කර ගැනීමට ද සමත් විය. එමෙන්ම මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව සමඟින් පැවති ටෙස්ට් තරගාවලියේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට ආසන්නව සිටි නමුත් පැනගුණු ගැටලුවක් නිසාවෙන් ඔහුට එම අවස්ථාව අහිමි විය.

තවත් ක්‍රිකට් පුවත්: 

මීට අමතරව සිය පිටකොන්දේ ආබාධය සුව වීමෙන් පසු Cameron, Western Australia නියෝජනය කරමින් සාර්ථකව දස්කම් දක්වමින් සිටින අතර බොහෝ විට ඔහුට මෙම තරගාවලියේ සිඩ්නි හීදී පැවැත්වෙන තරගයේ දී තණතිල්ලේ ස්වභාවය අනුව ටෙස්ට් වරම් හිමිවීමට වැඩි ඉඩක් ඇත.

එමෙන්ම නිව්සවුත්වේල්ස් කණ්ඩායම නියෝජනය කරන වේගපන්දු යවන ක්‍රීඩක Sean Abbott සහ Queensland කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩක Michael Neser, ඕස්ට්‍රේලියානු නිත්‍ය පන්දු යවන්නන් වන Pat Cummins, Mitchell Starc, Josh Hazlewood සහ James Pattinson යන ක්‍රීඩකයන්ට පසු අතිරේක වේගපන්දු යවන්නන් ලෙස කණ්ඩායමට නම් කර ඇත.

කෙසේ නමුත් නවසීලන්තය සහ පකිස්තාන කණ්ඩායම් සම්පූර්ණ වශයෙන් පරාජය කළ මෙම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වෙනසක් සිදු කරමින් ටෙස්ට් වරම් දිනා ගැනීමට මෙම නවක ක්‍රීඩකයන්ට අවස්ථාවක් හිමි වේ යැයි අපේක්ෂා කළ නොහැකි නමුත් ආරම්භක පිතිකරු Joe Burns මේ දිනවල දක්ෂතා අතර නොමැති වීම නිසාවෙන් Pucovski හට අවස්ථාවක් හිමි වීමට ඉඩ කඩක් පවතී.

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලිය ලබන මස 17 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර අවසන් වරට පැවති තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදවමින් 2-1ක් ලෙස ජය ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<