නිපුන් සහ ආරච්චිගේගේ අර්ධ ශතකවලින් ශ්‍රී ලංකාව නැවතත් තරගයට

184

ශ්‍රී ලංකා A සහ ඕස්ට්‍රේලියා A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ඊයේ (23) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

දිනය ආරම්භ වන විට සිය දෙවැනි ඉනිම දියත් කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 27ක් ලබාගෙන සිටියා. එහි දී ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනෙක්ම ලකුණු 8කට අඩුවෙන් දවා ගනිමින් හොඳ ආරම්භයක් ලබා ගැනීමට Scott Boland සහ Tanveer Sangha ඇතුළු ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් වුනා.

කෙසේ නමුත් නායකත්වයේ වගකීම හැකි උපරිමයෙන්ම ඉටු කළ කමිඳු මෙන්ඩිස් 4 පහර 6ක් එල්ල කරමින් ලබා ගත් ලකුණු 48 නිසාවෙන් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට යම් ආරම්භයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා.

ඔහුගේ දැවී යාමත් සමඟ දෙවැනි ඉනිමේ කඩුලු 6ක් ලකුණු 99ක් තුල දැවී ගොස් අසීරු අඩියක සිටි ශ්‍රී ලංකා ඉනිම නැවතත් ගොඩගැනීමේ වගකීම සිය උර මතට ගත් නිපුන් ධනංජය, සහ සහන් ආරච්චිගේ (පන්දුවක් වැදීම නිසා ක්‍රීඩාගාරයට ගිය නමුත් ඔහු නැවත පැමිණ ක්‍රීඩා කළා.) සහ ලක්ෂිත මණසිංහ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක සබඳතාවයක් ගොඩනැංවූවා.

පළමු ඉනිමේ දී අර්ධ ශතකයක් ලබා ගත් නිපුන් දෙවැනි ඉනිමේ ද අර්ධ ශතකයක් සමඟ පන්දු 130ක් තුල 4 පහර 2ක් සමඟ ලකුණු 77ක් ලබාගෙන ඉතාමත් අනගි ඉනිමක් දියත් කරමින් ශ්‍රී ලංකාව නැවතත් තරගයට රැගෙන ඒමට සමත් වුනා. ඔහු වටා එක්වුණු ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන් සිව්දෙනා ලකුණු 191ක් ලබාගෙන ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 290ක් දක්වා රැගෙන ආවා.

සහන් ආරච්චිගේ සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ ලබා ගත් 11 වැනි අර්ධ ශතකය ලබාගෙන 4 පහර 5ක් සමඟ ලකුණු 58ක් ලබාගෙන දස්කම් දැක්වූවා. ඊට අමතරව සුමින්ද ලක්ෂාන් සහ පළමු ඉනිමේ කඩුලු 5ක් දවා ගත් ලක්ෂිත මණසිංහ පිළිවෙළින් ලකුණු 30*ක් සහ ලකුණු 25ක් ලබාගෙන ශ්‍රී ලංකා පසුපෙළ සවිමත් කිරීමට සහය වුනා. පන්දු යැවීමේ දී වේගපන්දු යවන Boland සහ පා දඟපන්දු යවන Sangha කඩුලු 3 බැගින් දවාගෙන දස්කම් දැක්වූවා.

පළමු ඉනිමේ ලද අවාසිය ද සමඟ ලකුණු 367ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු ඕස්ට්‍රේලියා A කණ්ඩායම තරගයේ තෙවැනි දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 27ක් ලබාගෙන සිටින්නේ ජයග්‍රහණයට තවත් ලකුණු 330ක් පසුපසින් සිටිමින්.

  • ශ්‍රී ලංකා “A” පළමු ඉනිම – 330/9 (90): නිපුන් ධනංජය 92, ලහිරු උදාර 63, සහන් ආරච්චිගේ 61, නුවනිඳු ප්‍රනාන්දු 32, සධීර සමරවික්‍රම 29, Scott Boland 4/38, Mark Steketee 4/69.
  • ඕස්ට්‍රේලියා “A” පළමු ඉනිම – 254 (74.3): Jimmy Peirson 67, Marcus Harris 39, Matt Renshaw 35, Henry Hunt 28, Aaron Hardie 24, ලක්ෂිත මණසිංහ 5/82, ඩිල්ශාන් මදුශංක 3/43.
  • ශ්‍රී ලංකා “A” දෙවැනි ඉනිම – 290 (87): නිපුන් ධනංජය 77, සහන් ආරච්චිගේ 58, කමිඳු මෙන්ඩිස් 48, සුමින්ද ලක්ෂාන් 30*, ලක්ෂිත මණසිංහ 25, Scott Boland 3/51, Tanveer Sangha 3/53.
  • ඕස්ට්‍රේලියා “A” දෙවැනි ඉනිම – 27/2 (12): Henry Hunt 20*

ඕස්ට්‍රේලියාව හඹා යන ඉලක්කය ලකුණු 367යි.

මේ දෙවැනි සිව්දින තරගයේ අවසන් දිනය අද (24) ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<