ශ්‍රී ලංකාව පරාජය කළ නවසීලන්තය අපරාජිතව ඉදිරියට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

235

එංගලන්තයේ Birmingham හිදී පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා ක්‍රිකට් තරගය අද (3) අලුයම නිමාවට පත්වුනා.

එම තරගයෙන් ලකුණු 45ක ජයක් ලබා ගැනීමට සමත් වූ නවසීලන්තය තවදුරටත් අපරාජිතව ඉදිරියට යාමට සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායිකා Sophie Devine පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබා ගන්නට සමත් වුනා.

>>CWG 2022<<

නවසීලන්ත ආරම්භක පිතිකාරිණියන් වූ Devine සහ Suzie Bates පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 42ක් තුල වේගවත් ලකුණු 51ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා.

එම සාර්ථක ආරම්භක අඩිතාලම තරමක් පසුපසට ඇද දැමීමට ලකුණු 38ක් තුල නවසීලන්ත මුල්පෙළ කඩුලු 4ක් දවා ගනිමින් නැවතත් ශ්‍රී ලංකාවට යම් වාසියක් ලබා දීමට ඕෂදි රණසිංහ සහ ඉනෝකා රණවීර ඇතුළු ශ්‍රී ලංකික ක්‍රීඩිකාවන් සමත් වුනා.

ලකුණු 89කට කඩුලු 5ක් බිඳ වැටී තිබුණු මොහොතේ Brooke Halliday සහ කඩුලු රකින ක්‍රීඩිකා Isabella Gaze එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26ක් තුල ලකුණු 31ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ පසුපෙළට සාර්ථක අවසානයක් වෙත සිය කණ්ඩායම රැගෙන යන්නට අවශ්‍ය අඩිතාලම සකස් කළා.

අවසානයේ දී Lea Tahuhu පන්දු 8ක් තුල නොදැවී වේගවත් ලකුණු 20*ක් ලබාගෙන අවසන් පන්දුවාර දෙක තුල ලකුණු 27ක් ශ්‍රී ලංකාවෙන් උදුරා ගත්තා. පන්දු යැවීමේ දී රණවීර සහ රණසිංහ පිළිවෙළින් කඩුලු 3ක් සහ කඩුලු 2ක් දවාගෙන දස්කම් දැක්වූවා.

ලකුණු 148ක තරගකාරී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා පළමු කඩුලු 5 ලකුණු 28ක් තුල බිඳ දැමීමට Hayley Jensen ප්‍රමුඛ නවසීලන්ත ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා.

>>Photos – Commonwealth Games 2022 – Day 04<<

අනතුරුව 6 වැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ නිලක්ෂි ද සිල්වා (පන්දු 35ක දී ලකුණු 36) සහ අමා කාංචනා ලකුණු 24ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ඉනිම යම් ගෞරවාන්විත ලකුණු සටහනකට රැගෙන ගියා.

ඕෂදි ද නොදැවී ලකුණු 18*ක් ලබාගෙන සිය දායකත්වය දැක්වූවා. අවසානයේ දී ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 102ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන Jensen කඩුලු 3ක් දවා ගන්නා විට, Eden Carson කඩුලු 2ක් දවා ගත්තා.

මේ තරගාවලියේ මූලික වටයේ දැනට සහභාගී වූ තරග දෙකම පරාජයට පත්වී තිබෙන නිසා තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය හෙට (4) දකුණු අප්‍රිකාව සමඟ ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට ආරම්භ වීමට නියමිතයි. එම තරගයේ තොරතුරු සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<