පලඟ ශූරතාවෙන් පෙරළි කිරීමට සැරසෙන DS රග්බි ක්‍රීඩකයෝ

1047

පසුගිය දා කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි පිටියේ දී නිමා වූ Dialog අන්තර් පාසල් සත් සාමාජික රග්බි ශූරතාවලියේ බස්නාහිර පළාත් තරගාවලියේ A කාණ්ඩයේ ශූරතාවය බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හිමිකර ගනිද්දී, තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත් වෙමින් පලඟ ශූරතාව දිනා ගැනීමට කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් වුනා.

1977න් ඇරඹි ඩී. එස්. සේනානායක විද්‍යාලයීය රග්බි ඉතිහාසයේ පළමු කාණ්ඩයේ ලත් පළමු ශූරතා ජයග්‍රහණය මෙය වීම විශේෂත්වයයි. ඔවුන් මේ ජයග්‍රහණය හිමි කරගන්නේ පාසල් රග්බි ඉතිහාසයේ ප්‍රබල කණ්ඩායම් ලෙසින් වර්ගීකරණයට ලක් ව සිටි කොළඹ ඉසිපතන විද්‍යාලය, මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින්.

තරගාවලියට එක් වූ කණ්ඩායම්;

රාජකීය විද්‍යාලය (කොළඹ), සහිරා විද්‍යාලය (කොළඹ), ආනන්ද විද්‍යාලය (කොළඹ), වෙස්ලි විද්‍යාලය (කොළඹ), සාන්ත තෝමස් විද්‍යාලය (ගල්කිස්ස), තර්ස්ටන් විද්‍යාලය (කොළඹ), සාන්ත ජෝසප් විද්‍යාලය (මරදාන), ඉසිපතන විද්‍යාලය (කොළඹ), ඩී. එස්. සේනානායක විද්‍යාලය (කොළඹ), සාන්ත පීතර විද්‍යාලය (බම්බලපිටිය), විද්‍යා විද්‍යාලය (ගල්කිස්ස), වේල්ස් කුමර විද්‍යාලය (මොරටුව)

මෙවර තරගාවලියේ දී Group C යටතේ තරග වැදුණ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමු වටයේ දී ප්‍රබල සාන්ත ජෝසප් ක්‍රීඩකයන්ට එරෙහිව ලකුණු 7-5ක ජයග්‍රහණයක් ද, ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩකයන්ට එරෙහිව ලකුණු 17-12ක ජයග්‍රහණයක් ද වාර්තා කරමින් දෙවැනි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.

නමුත් එම වටයේ දී සුළු පමාවක් විශාල වෙනසක් සිදු කිරීමට හේතු වනු ඇත යන කියමන සනාථ කරමින් ලකුණු 12-19ක පරාජයකට මුහුණ දීමට ඩී. එස්. සේනානායක ක්‍රීඩකයන්ට සිදු වෙනවා.

එම තරග නිමාවෙන් අනතුරුව පලඟ ශූරතාවයට තරග වැදුණ ඩී. එස්. සේනානායක ක්‍රීඩකයෝ එහි දී ප්‍රබල රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයන්ට එරෙහිව 21-5ක විශාල පරතරයකින් යුත් ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා.

ඇත්තටම මේ ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් විශාල සතුටක් තියෙනවා. මම ඩී. එස්. එකේ පුහුණුවීම් කරන්නේ 2019 අවුරුද්දේ ඉඳලා. වසර 44ක ඩී. එස්. රග්බි ඉතිහාසයේ පළමු කාණ්ඩයේ පළමු ශූරතාව ලබා දීමට මට දායකත්වය ලැබීම ගැන තවත් සතුටුයි.

මේ ජයග්‍රහණය මගේ තනි ගමනක ප්‍රතිඵලයක් නෙමේ. මේ පිටුපස විශාල පිරිසක් ඉන්නවා. මම විශ්වාස කරනවා, මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් මම වගේ ම ඔවුනුත් සතුටු වෙනවා ඇති“, ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ප්‍රධාන රග්බි පුහුණුකරු අසේල දේශප්‍රිය මහතා ThePapare.com සමඟ එකතු වෙමින් පැවසුවා.

අසේල දේශප්‍රිය මහතා සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. 2009 වසරේ සිට 2014 වසර දක්වා එම පාසලේ රග්බි පුහුණුකරු වන්නේ ද දේශප්‍රිය මහතායි. එම කාලයේ දී සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලය පාසල් රග්බි පිටියේ පළමු කාණ්ඩය දක්වා රැගෙන ඒමට ඔහු සමත් වෙනවා.

දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ රග්බි පුහුණුකරුවෙක් ලෙස තම විද්‍යාලයට අමතරව කොළඹ ආනන්ද, නාලන්දා සහ වෙස්ලි විද්‍යාලවල සේවය කරන දේශප්‍රිය මහතා අවසන් වරට සේවය ලබා දෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයට. එතැනින් පසු වර්තමාන සේවා ස්ථානය වන කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට.

මේ සෑම තැනක දී ම මම මට උපරිමයෙන් ම මගේ සේවය ඒ පාසල්වලට ලබා දුන්නා. ඩී. එස්. එකටත් එහෙමයි. ඒත් මේ ගමන එතරම් පහසු වුනේ නැහැ. අපි විවිධ අභියෝගවලට මුහුණ දුන්නා. ඒත් ඒවා ජය ගන්න මට හොඳ කණ්ඩායමක් ලැබුණා“, දේශප්‍රිය මහතා නැවත පැවසුවා.

ඩී. එස්. සේනානායක රග්බි කණ්ඩායම මුහුණ දුන් ප්‍රමුඛතම අභියෝගය වූයේ කණ්ඩායමේ ක්‍රීඩකයන් ඒකරාශී කර ගනිමින් එක්ව ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා ගැනීමයි. රට පුරා පැවති COVID-19 තත්ත්වය ඊට හේතු වුනා. මේ හේතුවෙන් ඔවුන් පුහුණුවීම් ලැබුවේ කුඩා කාණ්ඩ වශයෙන්.

අපිට කණ්ඩායම එක්ව පුහුණුවීම් කරන්න ලැබුණේ සති තුනක් විතර තමයි. ඒකත් තරගාවලිය තවත් සතියකින් ප්‍රමාද කළ නිසයි. මෙයින් සති දෙකකට ආසන්න කාලයක් ළමුන් කිහිප දෙනා බැගින් ජිම් එකට ගෙන්නලා තමයි පුහුණුවීම් කළේ.“

කණ්ඩායම මෙසේ පුහුණුවීම් වන අතර තුළ ඔවුන් ජයග්‍රාහී මානසිකත්වයට ගෙන ඒමට අමතර වෙහෙසක් දැරීමට සිදු වූ බැව් ද දේශප්‍රිය මහතා පැවසුවා.

තරගාවලියේ මොනම හරි වෙනසක් කරනවා කියන හැඟීමට ගන්න ටිකක් වෙහෙසෙන්න වුනා. මොකද ඒ වෙද්දී අපි ජයග්‍රාහී තත්ත්වයේ හෝ ඊට ආසන්න තත්ත්වයේ හිටියේ නැහැ. අනිත් එක පාසලට ජයග්‍රාහී ඉතිහාසයක් නොවීම ක්‍රීඩකයන් අතර විශාල බලපෑමක් කළා.

ඒත් පුහුණු තරගවල දී මේ තත්ත්වය කණපිට හරවන්න අපිට හැකි වුනා. රාජකීය විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය සමඟ කළ පුහුණුවීම් තරගවල දී අපේ ක්‍රීඩකයන් විශාල අත්දැකීම් ලබා ගනිමින් තරගයකට අවතීර්ණ වන්නේ කෙසේ ද සහ එහි පාලනය සියතට ගන්නේ කෙසේ ද යන්න ප්‍රගුණ කළා. ඒ වගේ ම ඒ දේවල් ක්‍රීඩා පිටියේ දී ක්‍රියාත්මක කළා. ඒ දේවල්වල ප්‍රතිඵල තමයි මේ ජයග්‍රහණය.”

ලැබූ මෙම ජයග්‍රහණය ඩී. එස්. සේනානායක පාසල් ඉතිහාසය වර්ණවත් කෙරුණ අතර එහි වඩාත් ගෞරවයට පාත්‍ර වූ ක්‍රීඩකයා බවට පත් වුනේ නායක විශාල් අකලංක.

නායකයෙක් ලෙසින් ලැබූ මේ ජයග්‍රහණය ගැන ගොඩක් සතුටු වෙනවා. ඒක තවත් වැදගත් වෙන්නේ මගේ අවසන් අවුරුද්දේ දී මේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වීමයි. මේ ජයග්‍රහණයේ දී අපේ ක්‍රීඩකයෝ සියලු දෙනා තම තමන්ගේ කාර්යයන් කිසිදු අඩුවක් නැතිව කණ්ඩායමට ලබා දුන්නා. එක අරමුණක් වෙනුවෙන් ඔවුන් පුහුණුවීම් කරන කාලයේ සිට ම මහන්සි වුනා.

ඒ වගේම මේ ජයග්‍රහණය පිටුපස විශාල පිරිසක් සිටියා. ඔවුන් සියලුම දෙනාට ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා“, විශාර අකලංක ThePapare.com සමඟ පැවසුවා.

ඩී. එස්. සේනානායක විද්‍යාලයීය රග්බි කණ්ඩායම; විශාල් අකලංක (නායක), චමිත් සංජුක (උප නායක), දිනුප සෙනෙවිරත්න, එරංග උඩවත්ත, චාමර හවුපෙලියනගේ, අශාන් අමරසූරිය, පැතුම් හසරංග, රිවින් සත්නිඳු, තිසස් බාලසූරිය, තනිල්ක විශ්වජිත්, රදින පනාගොඩ, දෙනෙත් දිසානායක, නිශාන් පීරිස්, ජයතු චන්දිමාල්, මෙනුර පෙරේරා

නිලධාරීන්; සරත් උපනන්ද මහතා (Master in charge), සුනිල් ජයන්ත මහතා (Team Manager), අසේල දේශප්‍රිය මහතා (Head Coach), අනුරංග වල්පොළ මහතා (Forward Coach), Azmir Fajurdeen (Fitness Trainer), වෛද්‍ය පැතුම් සචින්ද හේරත් මහතා (Team Doctor), සංඛ දුශාන් ද සිල්වා මහතා (Team Physio), නිශාන්ත නාමල් මහතා (Mesio), චානක චන්දිමාල් මහතා (Kicking Coach)

මේ වෙද්දී ඩී. එස්. සේනානායක විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නායකත්වයට පත් කර සිටින්නේ දිනුප සෙනෙවිරත්න. ඔහු එළඹෙන වසර ද්විත්වය දක්වා ම මේ තනතුරේ කටයුතු කිරීමට නියමිතයි.

විශාල අභියෝගයක් සමඟ කණ්ඩායමක් ලැබිලා තියෙන්නේ. පළමුවෙන් ම මේ ලැබූ ජයග්‍රහණය ආරක්ෂා කර ගත යුතුයි, වගේ ම අපි මෙතැනින් ඉදිරියට යන්න ඕන. ඉදිරි ජයග්‍රහණ කරා කණ්ඩායම මෙහෙයවන්න ඕන. ක්‍රීඩකයන් කිහිප දෙනෙක් වයස් කාණ්ඩය අභිබවා ගිහින් කණ්ඩායමෙන් ඉවත් ව ගියත්, මම විශ්වාස කරනවා ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන කණ්ඩායමක් මට ලැබිලා තියෙනවා. ඒ වෙනුවෙන් අපිව මෙහෙයවන්න හොඳ Coaching Staff එකක් වගේ ම හොඳ Management Staff එකක් ඉන්නවා. ඔවුන් සමඟ ඉතා හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා“, දිනුප සෙනෙවිරත්න තම අනාගත අභිප්‍රායන් සම්බන්ධයෙන් ThePapare.com සමඟ පැවසුවේ එලෙසින්.

මේ සියලු බලාපොරොත්තු ඉටු කර ගැනීමට නම් ඔවුන්ගේ කණ්ඩායමට සේ ම පාසල් රග්බි ක්‍රීඩාවට ද අත-හිත දෙන අනුග්‍රාහකයෙක් ද ඔවුන් බලාපොරොත්තු වේ.

පාසලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේ ම ඩී. එස්. රග්බි සංවර්ධන පදනමත්, ආදි ශිෂ්‍ය සංගමයත් රග්බි ක්‍රීඩාව වෙනුවෙන් විශාල ලෙස උදව් කරනවා. ඒ වෙනුවෙන් විශාල වියදමක් දරනවා.මේ තත්ත්වය අවම කර ගන්න අපිට හොඳ අනුග්‍රාහක ආයතනයක් ලැබෙනවා නම් අපිට මීට වඩා ඉදිරියට යන්න පුළුවන්”, අසේල දේශප්‍රිය මහතා නැවත අප හා එක් වෙමින් පැවසුවා.

ඔවුන් යන ගමනේ දී පාසල් ප්‍රජාව සමඟ ක්‍රීඩකයන්ගේ දෙමාපියන් ද විශාල ලෙස ඔවුන්ට උදව් කරන බැව් ද ඔහු පැවසුවා.

අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා. අනාගතයේ ශ්‍රී ලංකා රග්බි පිටිය ආක්‍රමණය කරන්න පුළුවන් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම මේ අතරින් බිහිවේවි. ඔවුන් නිර්මාණය කිරීමේ දී ඉහත කී අයට අමතර ව 2015 -2020 රග්බි ටීම්වල ක්‍රීඩකයන්, 2012 වසරේ රග්බි ටීම් එකේ සාමාජිකයන් ද සිටිනවා. ඔවුන් අපේ ක්‍රීඩකයන් වෙනුවෙන් විවිධ ආකාරයෙන් විශාල දායකත්වයක් දැක්වුවා.

ඒ වගේ ම Coaching, Management සහ Ground  Staffවල අය ද කළ සේවය අමතක කරන්න බැහැ. ඔවුන් නැතිව මේ ගමන අපිට තනිව ම යන්න බැහැ. මේ ගමනේ දී ඩී. එස්. සේනානායක විද්‍යාලයීය රග්බි ක්‍රීඩාව හා එක් වූ සියලුම දෙනාට ස්තුතිය පුද කරන අතර ඉදිරියේ දී ද අපිත් සමඟ රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා“, අසේල දේශප්‍රිය මහතා පැවසුවා.

ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රග්බි ක්‍රීඩාවේ නව ගමනට ThePapare.com හී සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<