ආනන්දයේ වාරණ නියෝගය අධිකරණයෙන් ඉවතට

4419

ආනන්ද විද්‍යාලය විසින් ඉදිරිපත් කළ වාරණ නියෝගයක් හේතුවෙන් ඉකුත් 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 2019 මයිලෝ ප්‍රිමියර් කුසලාන තරගාවලියේ තර්ස්ටන් විදුහල හා ලුම්බිණි විදුහල අතර තරගය දින 14 කින් කල් දැමීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයට සිදු විය.

මයිලෝ ප්‍රිමියර් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ ආනන්ද විදුහල හා ලුම්බිණි විදුහල අතර තරගයේ දී, ආනන්ද විදුහලට එල්ල වූ “අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ ක්‍රීඩකයෙකු ක්‍රීඩා කිරීමේ” චෝදනාව ප්‍රතික්ෂේප කරමින් එම ක්‍රීඩකයාට මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමට සුදුසුකම් ඇති බව කරුණු ඉදිරිපත් කරමින් මෙම වාරණ නියෝගය ඉදිරිපත් කර තිබුණි.

ආනන්දයට තවත් අවස්ථාවක්

ඉකුත් 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 2019 මයිලෝ ප්‍රිමියර් කුසලාන තරගාවලියේ තර්ස්ටන්…

මේ පිළිබඳව ThePapare.com අප ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතාගෙන් විමසූ අවස්ථාවේ දී ඔහු පැවසූවේ, 

“විනිසුරුතුමන්ගේ සටහන්වල සටහන්වී තිබුණේ ආනන්ද විදුහල හිතාමතාම අධිකරණයට සත්‍ය වසන් කර අධිකරණය නොමග යවා වාරණ නියෝගය ලබා ගත් බව ඒත්තු ගිය හෙයින් එම වාරණ නියෝගය නිශ්ප්‍රභ කරන බවයි.”

ඉන්පසුව මයිලෝ ප්‍රිමියර් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ගැන ඔහු මෙසේ පැවසුවේය. 

“තර්ස්ටන් විදුහලේ සහ ලුම්බිණි විදුහලේ ක්‍රීඩකයින් උසස් පෙළ විභාගයට පෙනී සිටින නිසා අප එම පාසල්වලින් ඉල්ලා සිටියා ඔවුන් අතර සාකච්ඡා කර ක්‍රීඩා කර උචිත දවසක් යෝජනා කරන්න කියා. ඔවුන් එම දවස යෝජනා කළ පසු එම දිනයේ දී අප තරගය පැවැත්වීමට සූදානම්”

Video – ආනන්දය අපට විභාග ප්‍රතිඵල ලබා දුන්නේ නෑ – රංජිත් චන්ද්‍රසේකර

මයිලෝ අගමැති කුසලානය කල් යෑමට හේතුව රංජිත් චන්ද්‍රසේකර පැහැදිලි කරයි.

මෙම සිදුවීමෙන් අනතුරුව ආනන්ද විදුහලට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ඔහුගෙන් විමසූ අවස්ථාවේ පවසා සිටියේ,

“අපි මේ ගැන එම පාසලට ලිඛිතව දැනුම් දී අවසන්. මේ වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ ක්‍රීඩකයෙකු යොදාගෙන ක්‍රීඩා කිරීමේ චෝදනාවට ඔවුන් වැරදිකරුවන් වශයෙන් ඔප්පු වූ නිසා එය ලබන තරගවාරයේ දී ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීමට එය බලපානු ඇති” 

තර්ස්ටන් විදුහල සහ ලුම්බිණි විදුහල සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තරගය සඳහා උචිත දිනයක් ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනයට ලබා දෙනු ඇති.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<