නුවන් තුෂාර දැක්වූ දක්ෂතා අපතේ යයි

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල 2023

1260

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ තවත් පදක්කමකට යා හැකිව තිබූ මාර්ගය ඊයේ (04) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් මඟ හරවා ගත්තා.

ක්‍රිකට් පිරිමි ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සෘජුව ම සුදුසුකම් ලබා සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ප්‍රතිවාදීන් වී සිටියේ එලෙසින් ම එම වටය සඳහා සුදුසුකම් ලබා සිටි ඇෆ්ගනිස්තානයයි. ඔවුන් අතර පැවති තරගයෙන් ලකුණු 8ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියට එක් වූයේ ආසන්ත ම වසරේ රන් පදක්කම්ලාභී කණ්ඩායම ලෙසයි. 2014 වසරේ දකුණු කොරියාවේ පැවති තරගාවලියේ දී ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය ලකුණු 68කින් පරාජය කරමින් එහි රන් පදක්කම දිනා ගත්ත ද, මෙවර තමන් මුහුණ දුන් පළමු තරගයේ දී ම ඔවුන් වෙතින් ම පරාජයට පත් වීමට සිදු වුනා.

මෙම තරගයේ දී ජයග්‍රහණයක් ලද ඇෆ්ගනිස්තානය තරගාවලියේ අවසන් පූර්ව වටය සහභාගී වීම සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි දක්ෂතා දැක්වීමට නුවන් තුෂාර සමත් වූව ද, එය පමණක් තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූයේ නැහැ. එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආසියානු ක්‍රීඩා උළෙලේ ගමන එක් තරගයකින් නිමා වුනා.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ සහන් ආරච්චිගේ, ශෙවෝන් ඩැනියෙල්, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, ලහිරු උදාර, රවිඳු ප්‍රනාන්දු, ලහිරු සමරකෝන්, විජයකාන්ත් වියස්කාන්ත් සහ නිමේෂ් විමුක්ති මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගත් අතර Shahidullah Kamal ද ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ඊට එක් වුනා.

· ශ්‍රී ලංකා කණ්ඩායම; සහන් ආරච්චිගේ (නායක) ශෙවෝන් ඩැනියෙල්, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, ලහිරු උදාර (කඩුලු රකින්නා), රවිඳු ප්‍රනාන්දු, ලහිරු සමරකෝන්, විජයකාන්ත් වියස්කාන්ත්, නිමේෂ් විමුක්ති, නුවන් තුෂාර.

· ඇෆ්ගනිස්තාන කණ්ඩායම ;Gulbadin Naib (නායක), Sediqullah Atal, Mohammad Shahzad (කඩුලු රකින්නා) Noor Ali Zadran, Shahidullah Kamal, Karim Janat, Sharafuddin Ashraf, Afsar Zazai, Qais Ahmad, Fareed Ahmad, Zahir Khan.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී ඇෆ්ගනිස්තානුවන් වෙත බාර දුන්නා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් පන්දුවාර 18.3ක දී සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 116ක් පමණයි.

ඇෆ්ගනිස්තාන ඉනිමේ පළමු කඩුල්ල ලකුණක් ව තිබිය දී දැවී ගිය ද දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක සබඳතාවක් එක් කිරීමට Mohammad Shahzad සහ Noor Ali Zadran සමත් වුනා.

Mohammad Shahzad පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා සිටිය දී දැවී යමින් එම සබඳතාව නිමා වුනා. ඊට පසුව පිටියට එක් වූ Shahidullah Kamal සමඟ එක් වූ Noor Ali Zadran නැවත ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව ශක්තිමත් කරමින් ලකුණු 37ක සබඳතාවක් එක් කළා.

Shahidullah Kamal පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත් අතර Noor Ali Zadran පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා.

එතැන් සිට කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු අතරට යෑමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවසන් කඩුලු 5 ලකුණු 4ක් තුළ දවා ගැනීමට සමත් වුනා. එහි දී නුවන් තුෂාර පන්දුවාර 3ක් යවමින් ලකුණු 17කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. එය නුවන් තුෂාරගේ විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළ ම දක්ෂතාවයි.

ඊට අමතරව නායක සහන් ආරච්චිගේ ලකුණු 26කට කඩුලු 2ක් ද ලහිරු සමරකෝන් සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.1ක දී සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 108ක් පමණයි.

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක සහන් ආරච්චිගේ. ඔහු පන්දු 29කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා. ඊට අමතරව ආරම්භක පිතිකරු ලසිත් ලසිත් කෲස්පුල්ලේ පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 16ක් සහ අශේන් බණ්ඩාර පන්දු 9ක දී හයේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ද සහ විජයකාන්ත් වියස්කාන්ත් පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ද ලබා ගත්තා.

අනෙකුත් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු ලබා ගැනීමට හැකි වූයේ නැහැ. ශ්‍රී ලංකා ඉනිම ඒ තරමින් පාලනය කරද්දී පා දඟපන්දු යැවූ Qais Ahmad ලකුණු 16කට කඩුලු 3ක් දවා ගත්තා. එය ඔහුගේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවල හොඳම පන්දු යැවීමයි.

ඊට අමතරව දකුණතින් වේගපන්දු යවන Gulbadin Naib ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත්තා. එම දක්ෂතාව ද Gulbadin Naib ගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීමයි.

· ඇෆ්ගනිස්තානය – සියලුම දෙනා දැවී 116 (18.3) Mohammad Shahzad 20, Noor Ali Zadran 51, Shahidullah Kamal 23, නුවන් තුෂාර 4/17, සහන් ආරච්චිගේ 2/26

· ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 108 (19.1) ලසිත් කෲස්පුල්ලේ 16, සහන් ආරච්චිගේ 22, Gulbadin Naib 3/28, Qais Ahmad 3/16

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි. දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<